මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය හෙබවූ තල්පේ අරියජෝති හිමියන් එම ධුරයෙන් ඉවත් කිරීමට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව තීරණය කොට තිබේ.
ඒ පිළිබඳව වූ නිවේදනය මල්වතු මහානායක හිමියන්ගේ උපදෙස් පරිදි මල්වතු පාර්ශවයේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් විසින් නිවේදනය කොට තිබේ.
මින් ඉදිරියට තල්පේ අරියජෝති ස්ථවිර පාදයන් වහන්සේ දක්ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය සම්බන්ධ වගකීම් නොදරන බවද අදාල නිවේදනයේ සඳහන් වේ.
නවසීලන්ත ජාතික කාන්තාවක් මුල් කරගනිමින් ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමක් මුල් කර ගනිමින් උන්වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කොට තිබේ.