ගෙවත්තක ඇද තිබූ අනවසර විදුලිය රැහැනක පැටලීමෙන් අනතුරට ලක්වූ පුද්ගලයෙකු, 12 වෙනිදා පස්වරුවේ , නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කරණ විටද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මහව පොලිස් වසමේ වලලිය වල්පාලුව ලිපිනයේ පදිංචි හතලිස් දෙහැවිරිදි දෙදරු පියෙකු , මෙලෙස ගෙවත්තක ඇද තිබූ අනවසර විදුලිය රැහැනකට බිලි වී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව මහව මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
මරණකරු ගෙවත්තට ගිය අවස්ථාවේ දහවල් කාලයේ මෙම අනතුරට ලක්ව ඇති බවද,අනතුරින් පසුව නිවැසියන් සුව සේවා ගිලන් රථයක් මගින ,අනතුරට ලක්වූ පුද්ගලයා නිකවැරටිය මූලික රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ආ නමුදු ඒ වන විටද ඔහු මියගොස් සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි .
මව්පිය උරුමයෙන් හිමි වූ එකම ඉඩමක මරණකරු සහ ඔහුගේ මල්ලී පදිංචිව සිටින අතර මරණකරුගේ මල්ලී විසින් තම ගෙවත්තේ මෙම අනවසර විදුලිය රැහැන ඇද තිබූ බවද , පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ මල්ලි සහ ඔහුගේ බිරිඳ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මහව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා