මත්පැන් පානය කර යතුරුපැදියක් පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හොරණ මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු පරුෂ වචන කියමින් පොලිස් නිලධාරීන්ට" සුනඛයන්" යන වචනයෙන් ආමන්ත්‍රණය කළ මිල්ලනිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 1 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා නියෝග කළේය
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ හල්තොට වෙනිවැල්පිටිය ප්‍රදේශයේ පදිංචි නම්මුනි රවීන්ද්‍ර නැමැත්තාය
හොරණ සුපිරි වෙළඳ සැලක් අසල රථවාහන රාජකාරියේ නිරතව සිටියදී අපරික්ෂාකාරී ලෙස පැමිණෙමින් තිබූ යතුරු පැදිය නවතා පරික්ෂා කිරීමේදී පැදිකරු මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව පොලිසිය ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වී තිබූ බව පොලීසිය කියයි
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කළ සැකකාර මන්ත්‍රීවරයා දැඩි වෙහෙසක් දරා පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිරමැදිරිය තුළට යොමු කිරීමෙන් පසු පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන්ට පරුෂ වචනවලින් බැන වදිමින් "සුනඛයන්" යන වචනය ද පාවිච්චි කරමින් ආවේගශීලීව අශෝභන ව හැසුරුණු බව බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළහ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ