මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රීතුමා කරුණු ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රීධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බව පරිසර අමාත්‍යවරයා පවසයි.
“මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රී ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී කියා තිබුනා.
ඒ සම්බන්ධව අද ඇතැම් පුවත්පත්වල මෙන්ම උදේ පුවත්පත් සිරස්තල කියවන විට එම කාරණය මාධ්‍ය මගින් අවධාරණය කළා. රාසමාණීක්කම් මන්ත්‍රීතුමා එවැනි ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට ඔහු සතුව ඇති කරුණු අනුව ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රීධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බව පරිසර අමාත්‍යවරයා මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් මෙන්ම වගකීමක් ඇති අමාත්‍යවරයෙක් වශයෙන් මම කරුණු ඉදිරිපත් කරනවා. අපේ රටේ තිබෙන අණපනත්වලින් කිසිදු ආකාරයකින් මේ ආකාරයට රටේ සම්පත් නීතිවිරෝධී ආකාරයකින් පිට කරන්න බැහැ. දූපතක් ගොඩ කරන්න අවශ්‍ය වැලි ප්‍රමාණය කොතෙක්ද යන්න සිතා ගැනීමටවත් නොහැකියි. එහෙම නම් ඒවා රටින් පිට කළ යුත්තේ නැව්වලින්. ඒ කාරණය රටේ නීතිවලට හොරෙන් කළ හැක්කක් නොවෙයි.
අපේ ඛනිජ සම්පත් යවනවා නම් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතුයි. ඒ සඳහා තිබෙන අනපනත් පවා වෙනස් කළ යුතුයි
පසුගිය කාලයේ මාල දිවයින වැලි කියුබ් හය හමාරක් යවා තිබෙනවා. ඒ මාලදිවයිනේ භාවිතා කරන ජල පෙරණවලට යෙදී ම සඳහායි. අප රටේම සමාගමක් විසිනුයි යවා තිබෙන්නේ, ඊට සියළු බදු මුදල් අය කර ගෙන තිබෙනවා. එහෙම නැතුව දූපතක් ගොඩ කරන්න නොවෙයි.
වැලි, පස්, කළුගල් ජාවාරම්වල නිරත වන දේශපාලනඥයෝ ඉන්නවා. මේ කියන දේශපාලනඥයොත් ඔය ජාවාරම්කරුවන් පස්සේ යන බව මම දන්නවා. රාසමාණීක්කම් මන්ත්‍රීතුමා හැම විටම මාධ්‍ය තුළ තම මුහුණ දාගන්න උත්සාහ කරන අයෙක්. ඒ නිසා එතුමා නිර්භීත අයෙක් නම්, ඔහුට ඒ සම්බන්ධ තොරතුරු තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්නට පුළුවන්.
මාල දිවයිනේ දූපතක් ගොඩ කරන්න අපේ රටේ වැලි යවනවා කියන කාරණය ඔප්පු කරනවා නම් හෙට වුනත් මම මේ අමාත්‍ය ධුරයෙන් විතරක් නෙවෙයි මන්ත්‍රී ධුරයෙන් වුවත් ඉවත්වෙලා යන්න සූදානම්.
අපේ රටේ ඛනිජ සම්පත් පිටරට යවනු ලබන්නේ ඛනිජවැලි සමාගම විසින්. ඒක රජයේ සමාගමක්. ඉන් ලබන ආදායම ලැබෙන්නේ රටට. නමුත් මම GSMB ආයතනයෙන් තොරතුරු ලබා ගත්තා. ඒ අය කිව්වේ කිසිදු අවස්ථාවක අපේ රටේ වැලි පිටරටට අපනයනය කිරීම සඳහා බලපත් දී නැති බවයි.
ඒ නිසා මම වගකීමෙන් කියනවා මේ කියන ආකාරයේ කිසිදු ජාවාරමක් වෙලා නැහැ. ඒ වගේම එවැනි කාරණයක් සම්බන්ධව ඉල්ලීමක්වත් ආවොත් ඒ සම්බන්ධව අපි කටයුතු කරන්නේ පවතින අනපනත්වලට අනුව හා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුවයි. ඒ වගේම රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා නම් පමණයි.මෙම කාරණය සම්බන්ධව මම පාර්ලිමේන්තුවෙත් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා. අද මම මේ ගැන කතා කළේ අන් කිසිවක් නිසා නොව අද උදේ සිට මාධ්‍ය මගින් මේ සම්බන්ධව ප්‍රචාරය වූ නිසා” යැයි අමාත්‍යවරයා අද දින (08) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.