මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකොට ඇති නඩුව අද (26) දිනයේදී කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 15 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කොට සිටියේය.
පසුගිය පෙබරවාරී 12 වනදා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා විසින් මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාව පරිවර්තනය නොකොට ඇති හෙයින් අදාළ වාර්තාව පරිවර්තනය කොට ලබන මාර්තු මස 15 වනදා වනවිට නඩු තීන්දුව ලබා දිය හැකි බවට මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා දැනුම් දුන් බවට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේය.
එමෙන්ම ලබන මාර්තු මස 15 වනදා දක්වා ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටද මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට දැනුම් දෙනු ලැබීය.
පෙබරවාරී 12 වනදා මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයාගෙන් වාර්ථාවක් කැඳවා තිබූ අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා විසින් මුලතිව් අධිකරණයේදී පෙනී සිටමින් අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ මලුතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පුරාවිද්‍යා පනත මගින් නියාමනය වන පුරාවිද්‍යා ස්ථානයක් බවටත් ගුරුකන්ද රජමහා විහාරය පවතින් ස්ථානයේ මුලතිව් කෝකිලායි මාර්ගය දෙපසම මැනුම්ගත කරන ලද පුරාවිද්‍යා ස්මාරක සහිත ප්‍රදේශයක් වන බවටත්ය.
කෙසේ වෙතත් මේ වන විට මුලතිව් අධිකරණයේ ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය මගින් නඩු දෙකක් ගොනු කොට ඇති අතර ඉන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය යටතේ පාර්ශවයන් දෙකක් අතර සාමය කඩවීම වලක්වාලීමට බැඳුම්කරයකට අත්සන් කල යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ නඩුව අද (26) දින විභාගයට ගැනුනු අතර, පුරා විද්‍යා භූමියකට ඇතුල් වී ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කොට පුරාවිද්‍යා භූමියේ කැනීමක් කල බවට වූ බී වාර්ථාව දෙවන නඩුව වෙයි.
පසුගිය ජනවාරී 14 වනදා ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියට අනවසරයෙන් පිරිසක් ඇතුල් වී මුල් ගලක් තැබීමකට සැරසීම නිසා ඇති වූ නොසන්සුන් තාවයක් හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් අදාල නඩු ගොනු කොට තිබුණි.