කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරිමේ නඩුවට අදාළව අධිකරණය දිගින් දිගටම මගහරිමින් සැඟවී සිටින සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන දෙදෙනා වහාම අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 05 වැනිදා ) විවෘත වරෙන්තු නිකුත් කළාය.
තවද එම සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් වල වාර්තා හා ලියා පදිංචි වාහන වල වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට අදාළ බැංකු ආයතනවලට හා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය.
මහේස්ත්‍රාත්වරිය එසේ විවෘත වරෙන්තු නිකුත් කොට අදාළ බැංකු ගිණුම් වාර්තා හා ලියා පදිංචි වාහන වල වාර්තා ලබා දෙන ලෙසට අදාළ බැංකු ආයතනවලට හා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නියෝග කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරින් විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට වෙති.
තවද මේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නවින් වීරකෝන් , හිටපු ඇමැති මර්වින් සිල්වා , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන හතර දෙනා තවදුරටත් මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කෙරිණි.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.විජේතුංග මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.
දැනට අධිකරණය මගහැර සිටින ප්‍රසන්න රණවීර හා මිල්රෝයි පෙරේරා යන දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණා. එම වරෙන්තු වාර්තා අනුව එම දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා ඔවුන් පදිංචි නිවෙස් වලට ගොස් සෝදිසියට ලක් කළා. නමුත් ඔවුන් ප්‍රදේශය හැර ගොස් සිටින බවට අපට අනාවරණය වුනා.ඔවුන්ගේ දුරකථන ද විසන්ධි කරලා. ප්‍රසන්න රණවීර අම්පාර , දමන ප්‍රදේශයට නිතර යන බවට දැන ගැනීමට ලැබුණා. ඒ අනුව එහි ගොස් සෝදිසි කළා. නමුත් හමුවුනේ නැහැ. ඒ නිසා ඔවුන් අත් අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
එම සැකකරුවන්ට බැංකු ගිණුම් 30 ක් පමණ තිබෙනවා. එම බැංකු ගිණුම් වල හා බැංකු සේප්පු ඇත්නම් ඒවායේ තිබෙන මුදල් හා භාණ්ඩ වල විස්තර ලබා ගැනීම සදහා අදාළ බැංකු ආයතනවලට නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
තවද ඔවුන්ගේ නම් වලින් ලියා පදිංචි කර තිබෙන වාහන ගැන වාර්තාවක් ලබා දෙන ලෙසට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
මේ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය වි තිබෙන්නේ ඔවුන්ගේ දේපල තහනම් කිරීමට සදහා ඉදිරි පියවර ගැනීමටයි.
දෙවන සැකකාර මර්වින් සිල්වා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීවේය.
මේ නඩුවට විරුද්ධව සාක්කි නැහැ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්කිකරුවන් දී තිබෙන සාක්කිවල සමිපිඩන වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
මහේස්ත්‍රාත්වරිය - සාක්කි වල සම්පිඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරනවා.
තෙවන හා හතරවන සැකකරුවන් වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා දොන් සරත් කුමාර එදිරිසිංහ යන වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ නෙවිල් අබේරත්න මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මේ සැකකරුවන්ට ඇප ලබා ගැනීම සදහා මහාධිකරණයට ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන බවය.
හතරවන සැකකාර දොන් සරත් කුමාර එදිරිසිංහ වෙනුවෙන් පෙනි සිටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මේ සැකකරුට අයත් ව්‍යාපාර වල කටයුතු කර ගෙන යාම සදහා එහි කළමනාකරුට බලය පැවරීමට අවසරය ලබා දෙන ලෙසට වන අතර ඊට මහේස්ත්‍රාත්වරිය විසින් අවසරය ලබා දුන්නාය.
මහේස්ත්‍රාත්වරිය - බන්ධනාගාර රෝභලේ වෛද්‍යවරයා විසින් දෙවන සැකකරුගේ ( මර්වින් සිල්වා ) රෝගී තත්ත්වය ගැන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ඔහුට විශේඥ වෛද්‍ය මත අවශ්‍ය බැවින් රාගම ශීක්ෂණ රෝහලට ඔහු යොමු කර සායනයකට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී රෝග ලක්ෂණ කීපයක් හදුනා ගෙන තිබෙනවා. ඒවාට ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. බන්ධනාගාර රෝහලින් හා රාගම ශීක්ෂණ රෝහලින් යම් වෛද්‍ය පරීක්ෂණයක් කරන්නට බැහැ කියලා දන්වලා නැහැ.
මෙහිදී දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සැඟවී සිටින සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී විජේතුංග හා පොලිස් සැරයන් ඩෙන්සිල් යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන මෛත්‍රී ගුණරත්න , නෙවිල් අබේරත්න , නීතිඥවරුන් වන දේශාල් පෝල් , විරේන්දා කනංකෙගේ හා පියුමි උදාර යන මහත්ම මහත්මීහු ඇතුළු නීතීඥ පිරිසක් පෙනි සිටියහ.
මල්වාන ඩබ්ලිව් ඩී එම් විතානගේ