ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ රජය මැතිවරණයට සූදානම් බවත්, එම මැතිවරණය සුදුසු වාතාවරණයක පවත්වන ලෙස ඉල්ලීමක් කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
'සර්වජන ඡන්දය බලය' පිළිබඳ අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"2015දී ආපු ආණ්ඩුව 2017.09.21 වැනිදා මේ පාර්ලිමේන්තුව තුළ පළාත් සභා ඡන්දය වෙනුවෙන් සංශෝධනයක් ගෙනාවා. ඒක ගෙනල්ලා රාත්රී 8-9 වෙනකන් පාර්ලිමේන්තුව දීර්ඝ කරලා තුනෙන් දෙකක ඡන්දයක් ගත්තා. අද වෙනතුරැ ඡන්දය නෑ. එදා පළාත් පාලන ඡන්දය ගන්න අපිට අවුරැදු 03ක් ගියා. එදා අපි ඡන්දය ඉල්ලනකොට රටේ ආර්ථික ප්රශ්නයක් තිබුණේ නෑ. මිනිස්සුන්ව බය කරලා, ගිණිතියල, මිනිස්සුන්ව මරපු තත්ත්වයක් තිබුනෙත් නෑ. අපි ඡන්දය පවත්වන්න ප්රජාතන්ත්රවාදීව ඉල්ලීම් කළා.
ප්රජාතන්ත්ර විරෝධී ත්රස්ථ ක්රියා වලිනුත් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න පුළුවන්ද? එදා අපි ආණ්ඩුව ඡන්ද කල් දාද්දි කටයුතු කළේ ප්රජාතන්ත්රවාදී ලෙසයි. අවිහිංසාවාදී ලෙසයි. එහෙම නැතිව මිනී මරලා නෙවෙයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෙසත් රජයක් ලෙසත් අපි ලෑස්තියි ඡන්දය තියන්න. ඡන්දය පවත්වන්න. ඒත් ඡන්දය පවත්වනකොට අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ඡන්දය පාවිච්චි කරන පුරවැසියාට කාගෙවත් බලකිරීම් වලට, කාගෙවත් දුරකතන ඇමතුම් වලට, කාගෙවත් මරන බයට බෑ ඡන්දය තියන වාතාවරණය හදන්න."