මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන සැප්තැම්බර් 06 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.
මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිරකරුවන් සිව්දෙනෙකු තෝරාගෙන ඔවුන් එල්ලා මැරීම නීතයට පටහැනි හෙයින් එලෙස එල්ලා මැරීමට ගෙන ඇති නියෝග තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කෙරිණි
විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කෙරිණි.
දැනට මරණ දඬුවම නියමව බන්ධනාගාර වල රඳවා සිටින සිටින එස්.ගනේෂ්, මොහොමඞ් මිතාර්, හනීෆා ප්රහීම් නවාස්, එස්.ඒ සුරේෂ් කුමාර්, සුබ්‍රමනියම් ප්රනියමූර්ති, කේ.එච්. ගමගේ චන්ද්‍රදාස, එච්.කේ ජයතිලක, එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී.ගුණරත්න, ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක්‍රියාකාරීන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට ඇත.
මරණ දඬුවම නියම වූ රැඳවියන් 1600ක් මේ වන විටත් බන්ධනාගාර වල රඳවා සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛන වල බවත් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිපවරක් ප්‍රතිඥා දී ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනෙකු එල්ලා මැරීමට ජනාධිපතිවරයා අත්සන් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවද පෙත්සම්වල සඳහන් කොට ඇත.
මෙම පෙත්සම් ලබන සැප්තැම්බර් 06 වැනිදා විභාග කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන සැප්තැම්බර් 07 වැනිදා දක්වා දීර්ඝ කළේය.