ආණ්ඩු මාරු වෙන විට ප්‍රතිපත්ති වෙනස් වන තත්ත්වයෙන් ඉවතට ගොස් ප්‍රතිපත්ති ගරුක දේශපාලනය වෙනුවෙන් තමන් ඉදිරියේදී කටයුතු කරන බව හිටපු වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පෙරේදා (16දා) සවස බැහැ දැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රණසිංහ මහතා ඒ බව කීවේය.
තමන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන තිබෙන බවත්,ඊට ආරක්ෂාව ඉල්ලා සිටියත් ප්‍රමාණවත් ආරක්ෂාව ලබා නොදෙන බවත් කී රොෂාන් රණසිංහ මහතා තමන්ට ත්‍රිවිධ රත්නයේ සහ මහජනතාවගේ පමණක් ආරක්ෂාව තිබෙන බවද සඳහන් කළේය.රා හුලාලංකාර හිමියන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා මෙසේද කීය.
“රාජ්‍ය සේවයේ අවුරුදු 60න් විශ්‍රාම යනවා,ගරු අධිකරණයේ විනිසුරුවරු 65 න් විශ්‍රාම යනවා, අපේක්ෂකයෙකුට නාම යෝජනයක් ලබාදීමේදිත් අවුරුදු හැටට අඩු විය යුතුයි, ඒවගේම නාම යෝජනා ලබාදීමේදී අවුරුදු 18 ටවැඩි විය යුතුයි .අවසාන නාමයෝජනාව ලබාදුන්නම හැට හතරෙන් හැට පහෙන් ගෙදර. කැබිනට් අමාත්‍ය ධුරයත් දෙසැරයක් තිබුණාම ඇති.
මේ රටේ වැඩ කරන්න තරුණ පිරිසක් ඉන්නවා. ඒ අයට ඉඩ ලැබෙන්න ඕනේ. සමහරු අවුරුදු තිස් පහක්, හතළිහක්, එහෙට මෙහෙට පැන පැන කැබිනට් ඇමැති ධුරවල ඉන්නවා. කෝ අලුත් අදහස් කෝ අලුත් දැක්මක්. මේ රටේ උගත්තු. බුද්ධිමතුන්, විශාල පිරිසක් ඉන්නවා මම ඒකයි කියන්නේ ඒ අයට රට වෙනුවෙන් දේශපාලනයට එන්න කියලා.දේශපාලනයට එද්දි සල්ලි තියෙන්න, උගත්කම ඕනේ, මහජනයාට ආදරය කරන්න ඕනේ. මහජනයා ඇලජික් වෙලා වැඩකරන්න බෑ. මහජනයා තියා මන්ත්‍රීවරයෙක් එක්කවත් හම්බෙන්න බැරි අය තනතුරුවලට එන්න හදනවා. මහජනයාගේ දුක තේරෙන්න මහජනයා අතර ඉන්න ඕනෙ. මේ රටේ එක වේලක් කන මිනිස්සුත් ඉන්නවා. මං ඒක ආණ්ඩුවේ ඉද්දි පාර්ලිමේන්තුවේදි කිව්වා.
මෙහිදී රොෂාන් රණසිංහ මහතා තමාගේ ආරක්ෂාව පිළිබඳව ද කතා කරමින් සඳහන් කළේ තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය කිසිසේත්ම ඉල්ලා අස් කර නොගන්නා බවත්,මේ රටේ ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ඉන්නේ රටේ ජනාධිපතිවරයා බවත්, ආරක්ෂක ආරක්ෂක උපදේශකයා හැටියට ඉන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා බවත්ය. ඒ අය ප්රමුඛ ප්‍රසිද්ධියේ තර්ජනය කළ අය වගකීම භාරගතයි යුතු යැයි තමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද සෑහීමකට පත්වන ආකාරයෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබී නොමැති බවද රණසිංහ මහතා මෙහිදී කීවේය.
හිටපු මහවැලි ඇමති දිවංගත ගාමිණී දිසානායක මහතාගේ මරණය සම්බන්ධයෙන් 2012 වර්ෂයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේදී ප්‍රසිද්ධියේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබෙන බවත්, ලලිත් ඇතුලත්මුදලි ඝාතනය, රන්ජන් විජේරත්න ඝාතනය හා මෑතකදී සිදු වූ දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සැලසුම් සහගත මිනීමැරුම් බවද රොෂාන් රණසිංහ මහතා මෙහිදී මාධ්‍යයට අදහස් දකිමින් සිහිපත් කළේය.
ඇතැම් ලේකම්වරුන්ට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සමග වාහන දෙක තුන ලබා දී ඇති බවත්, ඇමැතිවරුන්ට ආරක්ෂාව ලබා දී තිබෙද්දී ඝාතනය කළ අවස්ථා තිබුණ බවත්, තමාට මෙතරම් මරණ තර්ජනයක් තිබියදී ආරක්ෂාව ලබාදී නොදීම පිළිබඳ ගැටලුවක් පවතින බවත්, හොරු ඉවත් කිරීමට ගත් පියවර නිසා තමන් තනතුරෙන් ඉවත් කිරීම තර්ජනයක් බවත් රොෂාන් රණසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මනම්පිටිය -නිමල් ජයරත්න /පොළොන්නරුව - තුෂර තෙන්නකෝන්