මානව හිමිකම් කඩවීමක් වුණාම ශ්‍රී ලංකාව තුළම විසඳා ගැනීමේ යාන්ත්‍රණය අපි වඩාත් ශක්තිමත් කළොත් ඩයස්පෝරාවට විදේශ තානාපති කාර්යාලවලට විදේශ NGO වලට අපේ රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න පුළුවන් කමක් නැති බව අධිකරණ මානව හිමිකම් හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (5) පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ,
"දිස්ත්‍රික් උසාවියේ ලේඛණාගාරයට ගියොත් අපි දන්නේ නැහැ තියෙන නඩු ගාන කියද කියලා. මේ තත්ත්වය ඉතාම ඛේදජනක තත්ත්වයක්. මොකද උසාවිවල තියෙන මේ නඩු වාර්තා නිසි පිළිවෙලකට අපි සකස් කරලා නැහැ . ඒවා වාර්තා ගත කරලා නැහැ.ඒ නිසා අනිවාර්යයෙන්ම උසාවි පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ඉතාමත්ම අත්‍යාවශ්‍යයි. ඒක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රතිපත්තිවලටත් ඉතාම ගැළපෙන ක්‍රියාවලියක් බව සඳහන් කරන්න ඕන. ඒ නිසා උසාවි පද්ධතිය නවීන තාක්ෂණය අනුව ගොඩ නගන්න අපේ ප්‍රමුඛතාවය ලැබෙනවා.
එම ව්‍යාපෘතිය අපි ඉදිරි වසර පහ තුළ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.අපේ උසාවිවල නඩු කටයුතු ප්‍රමාදවීමට අපි දැන් හේතු සොයා බැලුවා. අපරාධ අධිකරණවල දී රස පරීක්ෂක වාර්තා නොලැබීම මේකට ප්‍රධානතම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේදි කරනු ලබන ඉල්ලුම් ප්‍රමාණය සියයට එකසිය පනහකින් පසුගිය වසර කිහිපය තුළ වැඩි වෙලා තියෙනවා.
ඊළඟට අපිට තියෙන ප්රශ්නය අධිකරණවල ඉඩපාඩු හිඟය තියෙනවා. ඒ සදහා අවුරුදු 10 ක් විතර තිස්සේ House Of Justice යුක්තිය පසිඳලීමේ නිවාසයක් හදන්න උත්සාහ කළා. ඒකට බාලගිරි දෝෂය හැමදාම ආවා. අපි ඒ පිළිබඳව ඉතා ඉක්මනින් පියවර අරගෙන ඒ අධිකරණ සංකීර්ණය අපේ රජය කාලය තුළදී කරනවා. ඒක දවසකින් දෙකකින් කරන්න බැහැ. තට්ටු 12 ක ගොඩනැගිලි හතරක් හදන්න තියෙනවා. ඒ සදහා කටයුතු ඉතා ඉක්මනින්ම ආරම්භ කරනවා. අපේ අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා ගණන ප්‍රමාණවත් නැහැ. ඒ පිළිබදව තක්සේරුවක් අපි කරලා තියෙනවා. එය යම් ප්‍රමාණයකින් වැඩි කළ යුතුයි. ඒ සදහා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු වෙනවා.දැනට ඒක කරන්න තුනෙන් දෙකේ බලයක් අපිට නැහැ. විපක්ෂයේ සහායත් අරගෙන අපි ඒ සංශෝධනය කරන්න ඕන
මානව හිමිකම් කොමිසන් සභාව වැනි ආයතන වඩාත් පුළුල් කළ යුතුයි. මානව හිමිකම් සදහා පිටරටට යන්නේ නැතිව මානව හිමිකම් කඩවීමක් වුණොත් ශ්‍රී ලංකාව තුළම ඒවා විසඳා ගැනීමේ යාන්ත්‍රණයක් අපි වඩාත් ශක්තිමත් කළ යුතුයි. එහෙම ශක්තිමත් කළාම ඩයස්පෝරාවට විදේශ තානාපති කාර්යාලවලට විදේශ NGO වලට අපේ රටේ අභ්‍යන්තරයට ඇගිලි ගහන්න පුළුවන් කමක් නැහැ" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.