මන්නාරම රෝහලේ අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබේ
උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා විධිමත් සහ පුළුල් කිරීමට පියවර ගනිමින් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600 ක වියදමින් ඉදිකරනු ලබන අති නවීන පහසුකම් වලින් සමන්විත අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය (Accident and Emergency Unit) සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Mr. Santosh Jha) ඇතූළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අද (16) පෙරවරුවේ සිදූ කෙරිණි.
ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශවීය සබඳතා තවත් ශක්තිමත් කරමින් මෙහි ඉදිකිරීම් කටයුතු ඉන්දීය රජයේ ආධාර ප්‍රධාන යටතේ සිදු කෙරෙන අතර, මෙහි ඉදිකිරීම් කටයුතු 2028 වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීමට නියමිතය.
රජය පසුගිය වසර 02 ක කාලය තුළ රුපියල් බිලියන 600 ක මුදලක් මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.
රජයේ ප්‍රවාහන, ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල තුළ මන්නාරම දිස්ත්‍රික් රෝහලෙන් ලබාදෙන සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවිය යුතු බවත්, ලබන වසරේ පෙබරවාරි මස වන විට රුපියල් මිලියන 250 ක් වටිනා CT Scanner යන්ත්‍රක් රෝහලට ලබාදීමට කටයුතු කරන බවත් මෙහිදී පැවසූ අමාත්‍යවරයා
රෝහලේ වෛද්‍ය නිලධාරීන් සඳහා මහල් 04 කින් යුත් නව වෛද්‍ය නිල නිවාස සංකීර්ණය රුපියල් මිලියන 243 ක වියදමින් ඉදිකිරීම් ආරම්භ කරන බවත්, එහි ඉදිකිරීම් වසර එකහමාරක් තුළ අවසන් කරන බව ද පැවසීය.
රුපියල් මිලියන 230 ක් වැයකරමින් ඉදිවෙන නව ළමා රෝග ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් මෙම වසරේ ආරම්භ කළ හැකි වනු ඇති බව ද වෛද්‍ය, හෙද ඇතූළු සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉදිරියේ දී ලබාදීමට සියළු කටයුතු සුදානම් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Mr. Santosh Jha) සහ උතුරු පළාත් ආණ්ඩුකාර නගලිංගම් වේදනායගම් (Nagalingam Vethanayahan) යන මහත්වරු ද මෙහිදී උත්සව සභාව අමතමින් අදහස් දක්වන ලදි.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට අත්‍යාවශ්‍යව පැවැති මෙම නව අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීරණය රෝහල තුළ ස්ථාපිත කිරීමට පියවර ගැනීම තුළ උතුරු පළාතේ වෙසෙන ජනතාවට හදිසි අනතුරු සම්බන්ධ විශේෂඥ ප්‍රතිකාර සේවාවන් තමන්ගේම ප්‍රදේශයෙන් ඉතා කඩිනමින් සහ නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර, මෙය මෙරට නිදහස් සෞඛ්‍ය සේවයේ තවත් එක් සුවිශේෂී කඩඉමක් ලෙස පෙන්වා දිය හැක.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

