නවීන තාක්ෂණය සමග සම්බන්ධ කර ගනිමින් මධ්‍යම පළාතේ බස් ධාවන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පළාතේ ධාවනය කෙරෙන සියළුම බස් රථ ජී.පී.එස් තාක්ෂණයට සම්බන්ධ කිරීමටත්, ජංගම දුරකතන යෙදවුම් මගින් ධාවන කාල සටහන දැන ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණි.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමකදී මේ තීරණය ඊයේ (04) දින වලට එළඹිණි.
ජංගම දුරකතන යෙදවුම හදුන්වාදීමෙන් පසු පළාත තුළ ධාවනය කෙරෙන සෑම බස් රථයක්ම ධාවනය කෙරෙන කාල සටහන ඒ තුළින් දැන ගැනීමට හැකියාව ලැබෙන අතර, දැනට පවතින කාල සටහන මගී අවශ්‍යතාවය අනුව යලි සංශෝධනය කිරීමටද මෙහිදී තීරණය වූහ.
මධ්‍යම පළාතේ ප්‍රවාහන කටයුතු වැඩි දියුණු කිරීම සදහා මොරටුව විශ්ව විද්‍යාලය හා මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යංශය මගින් දියත් කර ඇති සහසර ව්‍යාපෘතිය තව දුරටත් ශක්තිමත් කිරීමටත් මෙහිදී තීරණය වූ අතර, ඉතා කෙටි කාලයක් තුළ මෙම වැඩටසහන ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකග විණි.
රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස මහනුවර බස් නැවතුම් පොළේ දැනට පවතින මෙහෙයුම් මැදිරියද නිරීක්ෂණය කළ අතර, එම මැදිරිය තව දුරටත් සංවර්ධනය කොට නව වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීමට තීරණය වූහ.
මෙම අවස්ථාව සදහා ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන කොමිෂන් සභාව යන ආයතන නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්