මධ්යම තැපැල් හුවමාරුවෙන් ලක්ෂ 675ක මත්ද්රව්ය අල්ලයි
කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 67.53කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
විදේශ රටවල් අටක සිට එවන ලද සැකකටයුතු තැපැල් පාර්සල් 11ක් පරීක්ෂා කිරීමේදී කුෂ් ගංජා, MDMA (එක්ස්ටසි) පෙති සහ මැන්ඩි නමැති මත්ද්රව්ය සොයාගෙන ඇත.
පසුගිය මාස කිහිපය තුළ විදේශයන්හි සිට මෙරටට ලැබුණු තැපැල් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන තිබේ. අදාළ ලිපිනයන්හි හිමිකරුවන්ට පාර්සල් භාරගැනීම සඳහා ලබාදුන් කාලසීමාව තුළ කිසිවකුත් ඒවා භාරගැනීමට නොපැමිණීම හේතුවෙන් පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේ ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, ඔක්තෝබර් 19 වැනිදා ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ සහ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම පාර්සල් 11 පූර්ණ පරීක්ෂාවකට ලක්කර තිබේ. තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, බෙල්ජියම, ප්රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවලින් මෙම පාර්සල් එවා ඇති බව එහිදී අනාවරණය වී ඇත.
තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියෙන් එවන ලද පාර්සල්වල තිබී කිලෝග්රෑම් 3.1කට අධික කුෂ් ගංජා ප්රමාණයක් සොයාගෙන ඇති අතර, එහි තක්සේරු වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 30.5කට අධිකය.
එමෙන්ම, බෙල්ජියම, ප්රංශය, කැනඩාව සහ ජර්මනියෙන් එවන ලද පාර්සල්වල තිබී MDMA පෙති ග්රෑම් 2,395ක් ද, නෙදර්ලන්තයෙන් එවන ලද පාර්සලයක තිබී මැන්ඩි මත්ද්රව්ය ග්රෑම් 33ක් ද සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්රව්ය අතරින් විශාලතම තොගය බෙල්ජියමෙන් එවන ලද පාර්සලයක තිබී හමුවූ MDMA පෙති තොගය වන අතර, එහි බර ග්රෑම් 2,202කි. එහි තක්සේරු වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 33.03ක් බව සඳහන් වේ.
මධ්යම තැපැල් හුවමාරුවේදී මූලික පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා අත්අඩංගුවට ගත් මත්ද්රව්ය පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාරදීමට ශ්රී ලංකා රේගුවේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

