දිගු කලක් ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස සම්පූර්ණ කිරීම සඳහා චීන EXIM බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 කට සමාන රෙන්මින්බි (RMB)ණයට ගැනීමට සහශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වෙන වෙනම ලබා දීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
යුවාන් ආදායමක් නොමැති ශ්‍රී ලංකාවට, ණය ආපසු ගෙවීම සඳහා ලංකාවෙය් ඇමරිකානු ඩොලර් සංචිත පරිවර්තනය කිරීම මේ හරහා සිදුවෙයි.
මෙම මස මුලදී, කඩවත සිට මිරිගම දක්වා කිලෝමීටර් 37.1 ක දුර සඳහා කොන්ත්‍රාත්කරු වන මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා ලිමිටඩ් (MCC) වෙතින් හිඟ මූල්‍ය හිමිකම් විශ්ලේෂණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවක්, රුපියල් බිලියන ගණනක ගෙවීම් පියවා මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීම සඳහා එම සමාගම සමඟම සාකච්ඡා කිරීමට නිර්දේශ කළේය.
2020 සැප්තැම්බර් මාසයේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළේ චීන එක්සිම් බැංකුවේ අරමුදල් සහිත ව්‍යාපෘතියක් ලෙසිනි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය මේ දක්වා සියයට 36.38ක් වෙයි. ව්‍යාපෘතිය ඉදිරියට යාමට ප්‍රධාන බාධාවක් වූයේ ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේදී ඇතිවූ ආර්ථික අර්බුදයයි.
එසේම ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කිරිමෙන් පසුව එක්සිම් බැංකුවෙන් ණය ගෙවීම් අත්හිටුවීමට කටයුතු කරනු ලැබීය. ව්‍යාපෘතිය සඳහා එක්සිම් බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 989 ක සහන ණයක් ලබාදීමට එකග ව තිබුණි.
ණය අත්හිටුවීමට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 51.5 ක් ඔවුන් නිදහස් කර තිබේ. කෙසේ වෙතත් එක්සිම් බැංකුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500 කට සමාන යුවාන් ප්‍රමාණයක් ණයට දීමට එක්සිම් බැංකුව එකඟ වීමත් සමග ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 438 ගෙවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇත.
කොන්ත්‍රාත්තුව අඛණ්ඩව පවත්වාගෙන යාමත් සමඟ, රජය විසින් කොන්ත්‍රාත්කරුට හිමිකම් සහ පොලිය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ ගෙවිය යුතුය.
සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි