මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිට දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ පෙනී සිටි බව කියන සාක්කිකරු ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම නඩුවේ සාක්කි අවසන් වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හැර වෙනත් කිසිඳු විනිශ්ච ආයතනයකට ගොස් සාක්කි දීමෙන් වළකින ලෙස සාක්කිකරුට තරයේ අවවාද කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය රුපියල් ලක්ෂ 10 ක බැඳුම්කරයක් මත ජේ.එම්. රන්බණ්ඩා නමැති සාක්කිකරු මුදාහැරීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කළ දැනුම් දීමක් පිළිගනිමින් සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ ගිරිතලේ යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලූතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ හෙවත් නාදන්, වීනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණ්ෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්රමනියම්, ඞී.ජී. තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන්ය.
2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්විමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම අපරාධයන් සිදුකිරීම සදහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධිචෝදනා 17 ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.