තලවකැලේ, ආගරපතන,බෝපත්තලාව ප්‍රදේශයේදී කම්බි මදුවකට හසුව තුවාල ලබා සිටි කඳුකර කොටියෙකු අද (24) සොයා ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
දඩයක්කරුවෙකු විසින් අටවා තිබු කම්බි මදුවකට හසුව ඇති කඳුකර කොටියා මදුව ගැට ගසා තිබු මුගුර ගලවා ගෙන විත් බෝපත්තලාව රජයේ ගොවිපලේ නැගෙනහිර කොටසේ නිල නිවාසවලට ඉහලින් පිහිටි කැළෑ ප්‍රදේශයක් ආශ්‍රිතව වැටී සිටියදී හමුව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
හොදින් වැඩුණු අඩි හයක් පමණ දිගකින් යුතු අවුරුදු 09 ත් 10 ත් අතර වයසේ පිරිමි සතෙකු මෙසේ මදුවකට හසුව සිටි බවත් එම සතාගේ ශරීරයේ විශාල තුවාලක්ද දකින්ට ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
වනජීවී දෙපාර්තුමේන්තුවේ නිර්වින්දන පශු වෛද්‍ය නිලධාරීන්, වනජීවී නිලධාරීන් හා ආගරපතන පොලීසියේ නිලධාරීන් එකතුව මදුවට හසුව සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර කම්බි මදුවෙන් මුදවා ගෙන ප්‍රතිකාර සඳහා පශුවෛද්‍ය රෝහලකට යොමු කිරීමට නුවරඑළියට රැගෙන යාමට පියවර ගන්නා ලදි.
බෝපත්තලාව රජයේ රක්ෂිත කැළෑවේ වෙසෙන ගෝනුන් හා ඌරන් දඩයම් කර ගැනීමේ අරමුණින් දඩයක්කරුවන් මෙසේ මදු අටවන බවත් එවැනි මදුවකට මෙම කඳුකර කොටියා හසුව ඇතැයිද වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
ශාන් හුලංනුගේ