ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවට පැමිණි සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ සභාපති නෝනිස් පියතුමා ඇතුළු නියෝජිත පිරිස දිගුකාලීනව මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් මුහුණ දී ඇති ගැටලු පිළිබදව සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී මාදැල් ධීවර කාර්මිකයින් දැනට මුහුණ දී තිබෙන ගැටලු ඉදිරිපත් වු අතර ඒවා සදහා කඩිනම් විසදුම් ලබා දෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ මාදැල් කර්මාන්තයේ යෙදෙන්නන්ට එම කර්මාන්තය තහනම් කර ඇති බැවින් එම ධීවරයින් තමාගේ ජීවනෝපාය කරගැනීමට නොහැකිව බලවත් ගැටලුවකට මුහුණ දී ඇති බව නෝනිස් පියතුමා විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.
ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේ යාපනය දිස්ත්‍රික්කයේ ධීවරයන්ගේ ගැටලු පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් තිබෙන බවත් ලබන මස 08 වැනි දින සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් හා වඩමාරච්චි මා දැල් කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා අනෙකුත් නිලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවරයන් ගන්නා බවත් ප්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාව සදහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ වැඩ බලන ධීවර අධ්යක්ෂ කහවත්ත මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.