මුදල් පනත හරහා ආණ්ඩුව ආදයම් හෙළි නොකල වංචනිකයන්ට බදු සමාවක් ලබා දීම හරහා අවංකව බදු ගෙවන පුද්ගලයන්ට රටේ මුලු වැය බර පැටවෙන බවත් එමෙන්ම මෙවැනි බදු සහන හරහා වංචනිකයන්ට සහන ලබා දීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව සිදු කළ යුත්තේ බදු එක්රැස් කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම බව මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුලු පනත් කෙටුම් පත් කිහිපයක් සහ ආනයන සහ අපනයන පාලන පනත යටතේ රෙගුලාසි කිහිපයක් පිළිබද අද (07දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
“මුදල් ඇමතිවරයා කිව්වා ණය ගන්නේ සහනදායී ක්‍රමයට විතරයි. නමුත් ණය ගෙවන්න උත්සහ කරනවා. සංචිත පහළ ගියාට විදේශ ණයත් ඒ ආකාරයෙන්ම පහළ යනවා කියලා කිව්වා. නමුත් ලයිට් ස්වීච් එකක් දානවා වගේ කරන්න බෑ. එහෙම කරන්න හදන්නත් එපා. ඒ නිසා තමයි දැඩි ලෙස විනිමය අනුපාතයට පහරක් එල්ල වෙලා තිබෙන්නේ.
මම දිගින් දිගටම කියූ ආකාරයට ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් කර ගන්න පුලුවන් නම් අපිට ඔබතුමා කියන ආකාරයේ ස්වෛරී භාවයට හානි නොකරන ආකාරයේ ණයක් ලබා ගන්න පුලුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කවදාවත් ස්වෛරී භාවයට හානී වන කොන්දේසි දාන්නේ නෑ. ඔබතුමා විපක්ෂයෙන් සහය ඉල්ලුවා. අපි සහය දෙන්න සූදානම්.
ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකක් මේ මුදල් පනතින්. එකක් වත්කම් හෙලි නොකල අයට බදු සමාවක් දෙන එක. අනිත් එක තමයි ආදායම් හෙලි කළ බදු ගෙවිය යුතුව ඇතැයි තීරණය කළ පුද්ගලයන්ට ගෙවිය යුතු බද්ද කපා හැරීම.
ඒ වගේම බදු නොගෙවන වංචනිකයන්ට බදු සහන ලබා දීමෙන් අවංක බදු ගෙවන්නන්ට රටේ මුලු වැය බර පැටවෙනවා. වංචනිකයන්ට සහන ලබා දීමේ ප්‍රතිපත්තියක් තමයි මෙවැනි බදු සහන වලින් අපි ලබා දෙන්නේ. ඒ නිසා සිදු විය යුත්තේ බදු එක්රැස් කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීමයි”