සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක්කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඊට සම්බන්ධ පුද්ගලයන්ට පියවර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කිරීමට ද වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩ බලන පොලිස්පතිවරයා එම පියවර ගෙන ඇත්තේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සමග පසුගියදා පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
හරක්කටා නමැත්තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ තබාගෙන සිටිමින් විමර්ශන සිදු කළද ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමට පත්විය නොහැකි බව පවසමින් වැඩ බලන පොලිස්පතිවරයා විමර්ශන නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි දැනගන්නට ඇත. වැඩ බලන පොලිස්පතිවරයා විසින් පත්කරන ලද විශේෂ කණ්ඩායම් තුන පූර්ණ කාලීනව නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනවල නියැලීමට නියමිතය.
නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ගෙවී ගිය වසර කීපය තුළ මෙරටට හොරයින් මත්කුඩු කිලෝ 4000 කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ලෙස ගෙන්වා බෙදා හැර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වී ඇති නමුත් ඔහුට විරුද්ධව නඩු කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර නොතිබීම පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා සිය විමතිය පළ කර ඇති බවද වාර්තාවේ.
හරක්කටා සම්බන්ධව අනාවරණය වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ නඩු කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී නීති විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේ මුල්ලේ සංජීව හා සලිඳු මල්ශිත ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිඳු යන අපරාධකරුවන් සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලය දේශීය සහ විදේශීය වශයෙන් හඳුනාගෙන එම ජාලය බිඳ දැමීම සඳහා
විමර්ශන ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මීට අමතරව මෙරටට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වනු ලබන බවට අනාවරණය වී ඇති ප්‍රකට පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳ මෙරට අධිකරණය සහ ජාත්‍යන්තර පොලීසිය හරහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටද වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තබේ.
මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පසුගිය මස 17 වැනිදා දින සිට ආරම්භ කර ඇති "යුක්තියේ මෙහෙයුම" මගින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාලය බිඳ දැමීමට සාර්ථක පියවර ගනිමින් සිටින අවස්ථාවක ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන පෙළේ පුද්ගලයන් පිළිබඳ ඉදිරි මාසයක කාල සීමාව තුළ සාධනීය පියවර ගෙන ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බවටද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී දැඩිව අවධානය කර ඇති බව දැනගන්නට ඇත.