අහුලාගත් හැඳුනුම්පතක් ඉදිරිපත්කොට සිම් පතක් මිළදී ගෙන ඒ හරහා හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ දී ඉකුත් 21 දා රාත්‍රි සිදු වූ ඝාතනය සැළසුම් කොට ඇතැයි විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය පවසයි .
ඒ අනුව සිම් පත ලියා පදිංචි කිරීමට ඉදිරිපත් කළ හැඳුනුම්පතේ හිමිකරු වන රදාවාන ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මේ බව අනාවරණය වී තිබේ.
මොහු පිටකොටුව කිරිල්ලවල මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තර වරයකු බව පොලිසිය පවසයි .
ඉකුත් 21 දා රාත්‍රී හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ පදිංචි මහරගේ චමිල සංජීව පෙරේරා නමැති 46 හැවිරිදි පුද්ගලයකු සිය නිවස ඉදිරිපිට දී ඝාතනය කොට පළා ගොස් තිබුණි .
ඝාතනය රාත්‍රී 9.10 පමණ සිදුව තිබූ අතර ඊට පෙර සිය මිතුරන් පිරිසක් සමග නිවසේ සාදයක් පවත්වා ඇති අතර ඒ අවස්ථාවේ දී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී තිබේ.
එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීම සඳහා සාදය පවත්වන ස්ථානයෙන් බැහැරට ගොස් නිවස ඉදිරිපිට ගේට්ටුව අසලට රැඳී සිටිමින් ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබූ අතර තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණි .
ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස් ජයමහ මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී බන්දුල ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කෙරිණි.
එහිදී ඝාතනය වූ පුද්ගලයාට අවසන්වරට ලැබී තිබූ දුරකථන ඇමතුමට අදාල අංකය පිලිබදව විමර්ශනය කිරීමේ දී එම සිම් පත වෙඩි තැබීමට දින තුනකට පෙර ලියා පදිංචි වූවක් බවත් එම අංකයෙන් ඝාතනය වූ පුද්ගලයාට අවස්ථා තුනකදී ඇමතුම් ලැබී තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.
ඒ අනුව සිම් පත ලියාපදිංචි පුද්ගලයා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හැදුනුම්පත මීට පෙර අස්ථානගත වී ඇති බවට පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඔහු කිසිවක් නොදන්නා බව පොලීසියට පවසා ඇති බවත් පැවසේ.
ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක කරන්නේ අස්ථානගත වූ හැඳුනුම්පත අහුලාගෙන එය ඉදිරිපත් කොට සිම් පතක් ලබාගෙන ඒ හරහා මියගිය පුද්ගලයාට දුරකථන ඇමතුම් ලබාදී ඝාතනය සූක්ෂමව සැලසුම් කරන්නට ඇති බවයි.
එහෙත් එම පුද්ගලයා ලබා දෙන ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය තාවය පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනය කරන බව පොලිසිය කියයි .
දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන තනූජ සම්පත් නොහොත් හඳපාන්ගොඩ "හඳයා" නැමැත්තා ගේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර ඒ සඳහා මෙරට පදිංචි සමීපතමයෙකු හරහා තරුණයින් දෙදෙනෙකුට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව දී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියශාන්ත මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න