මත් බස් රියදුරන් අල්ලන්න තවත් ජංගම රථයක්
පොදු ප්‍රවාහන සේවය වඩාත් ගුණාත්මක, විධිමත් හා ආරක්ෂිත සේවාවක් බවට පත් කර මගී ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ක්‍රියාත්මක කර ඇති ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් කාර්යක්ෂම කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සතු අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) වෙත නිල වශයෙන් භාරදීම අද (10) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජංගම රසායනාගාර බස් රථයට අදාළ ගොනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වත්මන් සභාපති මහාචාර්ය ක්ලීෆර්ඩ් පෙරේරා මහතා වෙත මෙහි දී නිල වශයෙන් භාරදෙන ලදී.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර, වගකීම් සහගත රියදුරන් හා රිය සහායකයන් සහිත පොදු ප්‍රවාහන සේවයක් තහවුරු කිරීම තුළින් මාර්ග අනතුරු අවම කර මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම මෙහි අරමුණ වේ.
මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට තුළ සිදුවන ඇතැම් මාර්ග අනතුරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී එම අනතුරුවලට සම්බන්ධ ඇතැම් රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පැවසීය.
රියදුරන් සහ රිය සහායකයන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇත්ද යන්න හඳුනාගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත්, මෙම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ජංගම රසායනාගාර බස් රථය ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම ජංගම පරීක්ෂණ බස් රථය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයටද පරිත්‍යාගයක් ලෙස ලැබී තිබුණු අතර, පසුගිය කාලයේදී දිස්ත්‍රික්ක කිහිපයක විවිධ පරීක්ෂණ කටයුතු සඳහා එය භාවිත කල බවත්, මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කර ඇති බවද සදහන් කල අමාත්‍යවරයා මහජන ජීවිත ආරක්ෂාවට සෘජුවම දායකවන අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා මෙම බස් රථය ප්‍රවාහන අමාත්‍යාංශයට ලබාදීමට තීරණය කළ බව ද පැවසීය.
මාර්ග අනතුරු අවම කිරීම, මගී ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සහ වඩාත් වගකීම් සහගත පොදු ප්‍රවාහන සේවයක් තහවුරු කිරීම සඳහා රියදුරන් හා රිය සහායකයන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් හා හක්තිමත් කළ යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
මෙම ජංගම රසායනාගාර බස් රථය පරීක්ෂණ පහසුකම් සිදුකිරීමට අවශ්‍ය ස්ථාන වෙත ගෙන යමින් රියදුරන් සහ රිය සහායකයන් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව පවතින අතර එමගින් පොදු ප්‍රවාහන සේවය වඩාත් විශ්වාසනීය, වගකීම් සහගත හා ආරක්ෂිත සේවාවක් බවට පත්කිරීමට දායකත්වයක් සැපයෙනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

