එක්තරා ව්‍යාපාරිකයෙක් විසින් මුතුරාජවෙළ තෙත් අභයභූමියේ අක්කර 700ක පමණ ප්‍රදේශයක් අනවසරයෙන් අත්පත් කර ගනිමින් දැන්වීම් පුවරු සවි කර එය තමන් සතු පුද්ගලික දේපළක් බවට හගවමින් කටයුතු කිරීම හා මුතුරාජවෙළ තෙත් අභය භූමිය අවට සිදු කෙරෙන අනවසර අත්පත් කර ගැනීම් හා ගොඩ කිරීම් සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ කොළඹ අගරදගුරු නිලනිවසේ දී පැවැත්විනි.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, විමලවීර දිසානායක, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ද ඇතුලු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් පළ කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මුතුරාජවෙළ තෙත් අභය භූමිය හා ඒ අවට සිදු වන පරිසරයට හානි කර සිදුවීම් වැළැක්වීමට රජය වහාම පියවර ගත යුතුව ඇති බවයි. මෙම තෙත් අභයභූමිය ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරීම වත්මන් රජයේ වගකීමක් බව කී උන්වහන්සේ එක්තරා ව්‍යාපාරිකයෙක් විසින් මෙම තෙත් අභයභූමියට අයත් ඉඩම් අක්කර 700ක් පමණ බළාත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින බවත්, එය පුද්ගලික දේපොළක් බවට දැක්වෙන පුවරු සෑම ස්ථානයකම ප්‍රදර්ශණය කර ඇති බවත් සඳහන් කළේය.
මෙම නාම පුවරු ගලවා ඉවත් කිරීමට අනිවාර්යයෙන් පියවර ගන්නා බව කී කාදිනල් හිමිපාණෝ මුතුරාජවෙළ මෙපමණ විනාශයක් සිදුවෙද්දී ඊට වගකිව යුතු රජයේ නිලධාරින් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බවත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන ලද්දේ මුතුරාජවෙළ තෙත් අභයභූමිය ආශ්‍රිතව සිදු කර තිබෙන පරිසර හානිය පසුපස ව්‍යාපාරිකයින්,පාතාළයට සම්බන්ධ මැරයින් මෙන්ම ඇතැම් රජයේ නිලධාරින් ද සිටින බවයි.
ඉඩම් ගොඩ කිරීමේ පනත යටතේ වෙළ, කුඹුර, දෙනිය, ඕවිට වැනි නම් ඉඩම්වලට යෙදෙන්නේ නම් ඒවා පිරවීමට අවසර ලබා දීමට හැකියාවක් නැහැ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යම් පහත් බිමක් පිරවීමේ දී ඊට අවශ්‍ය අනුමැතිය ලබා දීමේ දී ඉහත නම් වලින් එකක් අදාල ඉඩමට තිබෙනවා නම් කිසිසේත්ම අනුමැතිය ලබා දෙන්නට බැහැ. පහත් බිම් සංවර්ධන පනත යටතේ කුඹුරු ඉඩම් ගොඩ කරන්නට නීතිමය ප්‍රතිපාදන නැහැ.
නමුත් මුතුරාජවෙළ අත්පත් කරගෙන සිටින පුද්ගලයා පවසනවා ඔහුට ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බව. ඇත්තටම ඔහුට ඒ සඳහා අනුමැතිය දී තිබෙනවා නම් ගොවිජන සංවර්ධන මණ්ඩලයේ ඒ ප්‍රදේශය බාර නිලධාරියා ඊට වගකිව යුතුයි. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර වාර්තාව ලබා දී තිබිය යුතුයි. මම දන්නා අයුරින් මධ්‍යම පරිසර අධිකාරියත් පරිසර සහතිකය ලබා දී නැහැ. ඒ වගේම එම ව්‍යාපාරිකයා පවසනවා ඔහු විසින් මුතුරාජවෙළ අවට සින්නක්කර ඉඩම් මිල දී පවරා ගෙන සංවර්ධනය කරන බව. ඒවා සත්‍ය වශයෙන්ම සින්නක්කර ඔප්පු සහිත ඉඩම් ද යන්නත් පරීක්ෂා කළ යුතුයි.
කෙසේ වෙතත් මැණුම් කටයුතු අවසන් කර ඇතත් මේ වන තෙක් මුතුරාජවෙළට අයත් බිම් මායිම් සළකුණු සටහන් කර නැහැ. ඒක මගේ අමාත්‍යාංශයට අයත් කාර්යයක් නොවෙයි. ඒක වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ යුතුයි. නමුත් මුතුරාජවෙළට අයත් ඉඩම් ගොඩ කිරීම හා පවරා ගැනීම සිදු කරන්නේ මෙවැනි දුර්වලතා නිසායි. ඒ නිසා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වහාම එම කටයුතු අවසන් කළ යුතුව තිබෙනවා. එවිට මායිම් සළකුණු ගැසට් කිරීම මගින් අපිට මුතුරාජවෙළ ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා.
ඒ වගේම මම මුතුරාජවෙළ හා බොල්ගොඩ ජලාශය අවට සිදුවන පරිසර හානිය සම්බන්ධවත් සොයා බැලුවා. විශේෂයෙන් මුතුරාජවෙළට හානි කරමින් පවත්වාගෙන ගිය යකඩ කර්මාන්ත ශාලාවකුත් මම තහනම් කළා. ඒ යකඩ කර්මාන්ත ශාලාව දැන් නැවතත් පරිසර හිතකාමි ලෙස කටයුතු සකස් කර ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම ඌරු කොටු කිහිපයක අපද්‍රව්‍ය මුලුමනින්ම බැහැර කරන්නේ මුතුරාජවෙළට. සමහර තැන්වලට යන්න බැහැ. අඩි 10-12ක් වැනි තාප්ප ගහළා වෙන් කරගෙන.
කාදිනල් හිමිපාණන් විසින් මුතුරාජවෙළ තෙත් අභය භූමිය රැක ගැනීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට මගේ උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම කිසි විටෙක කිසිදු පුද්ගලයෙකුට මෙම අභයභූමිය විනාශ කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.