මුතුරාජවෙළ අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිගේ පූර්ණ අවධානය යොමු වී තිබෙන බවත් ඒ අනුව මෙම වටිනා තෙත් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට කටයුතු කරන්නැයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අද දින (24) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මුතුරාජවෙළ තෙත් අභයභූමිය විවිධ පුද්ගලයින් විසින් අත්පත් කර ගනිමින් නීතිවිරෝධී ලෙස එම පරිසර පද්ධතිය විනාශ කිරීමට පියවර ගෙන තිබිනි. මෙම කටයුතු සොයා බැලීමට තමන් හා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත් නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එහිදී මෙම පරිසර පද්ධතියට ඇතැම් ව්‍යාපාරිකයින්, පාතාල සාමාජිකයින් පමණක් නොව ඇතැම් රජයේ නිලධාරින් ද කටයුතු කර තිබු අයුරු දුටු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වහාම මෙම පරිසර පද්ධතිය පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන දෙස් හා විදෙස් සංචාරක ආකර්ශණීය පරිසර පද්ධතියක් දක්වා සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.මේ සඳහා අවශ්‍ය මුදල් රජය මගින් ලබා දීමට ජනාධීපතිවරයා තීරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ලබන වසර අවසන් වන විට මුතුරාජවෙළ පරිසර පද්ධතිය සුරකිමින් එම කටයුතු අවසන් කරන බවත්, නාගරික සංවර්ධන පනත ඉතා ප්‍රබල පනතක් බැවින් මෙම කටයුතු ඉතා පහසු වන බවත් ඒ අනුව කිසියම් පුද්ගලයෙක් තෙත් බිමට අයත් ඉඩම් අත්පත් කර ගෙන එහි යම් ඉදිකිරීමක් සිදුකර තිබුනත් ඉන් පළක් නොවන බවත් අමාත්‍යවරයා කීය.