මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට කඩිනමින් පත් කිරීමට වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
දැනට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු හා ඊට අදාළ විසදුම් ඇතුලත් ක්‍රියාකාරී සැලැස්මක් වහාම තමන් වෙත ලබා දෙන ලෙසද ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් සමග අමාත්‍යංශයේ ඉදිරි කටයුතු පිළිබඳව පැවති සාකච්ඡාවේදි ඇමතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය.
2018 වර්ෂයේදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදුවූ ගුවන් ගමන් මෙහෙයුම් සංඛ්‍යාව 709කි. ඉන් 334ක් ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් බවත් 375 අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් බවත් මෙම සාකච්ඡාවේදි අනාවරණය විය.
එය 2017 වර්ෂයට වඩා 50% ක අඩුවීමකි. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල හරහා 2018 වර්ෂයේදි ගුවන් මගීන් 3403 පැමිණ තිබේ. එය 2017 වර්ෂයට සාපේක්ෂව 85%ක අඩුවීමකි. 2017 වර්ෂයේදි කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පථය වසා දැමීම මත කටුනායක පැමිණි ගුවන්යානා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට හරවා යැවීම නිසා ඒ වසරේ එම ගුවන්තොටුපලේ ගුවන්යානා ඉහල මට්ටමක පැවති බව නිලධාරීහූ පෙන්වා දුන්හ.
කෙසේ වෙතත් 2019 මුල් මාස 08 තුළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් යානා මෙහෙයුම් 645 සිදුව ඇති අතර මගීන් 1297ක් පැමිණ තිබේ. මෙම මාස කිහිපය තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා කිසිවක් පැමිණ නැත.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ස්වභාවික මරණයක් අත්පත් කර දීමට පසුගිය රජය අපේක්ෂා කළ බවත් එහි යටි අරමුණ වුයේ මෙම ගුවන්තොටුපල කුණු කොල්ලයට විකුණා දැමීම බවත් ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
රාජපක්ෂ නම සමග තිබූ වෛරය පසුගිය ආණ්ඩුවේ මෙම ප්‍රතිපත්තියට හේතු වූ බවත් එය ජාතික අපරාධයක් බවත් මේ නිසා මත්තල නැවත ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට පත් කිරීමට වහා කටයුතු කළ යුතු බවත් රණතුංග මහතා අවධාරණය කළේය.
පසුගිය රජය යටතේ වී ගබඩා කිරීම නිසා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට සිදුවූ හානිය මෙන්ම පසුගිය රජයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපලේ සියලුම අංශ වලට සිදුව ඇති හානිය පිළිබද පූර්ණ වර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ඇමතිවරයා නියෝග කළේය.
ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග සාකච්ඡා කර කඩිනමින් මත්තල ගුවන්තොටුපලේ ගුවන්මෙහෙයුම් ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව පැවසු ප්‍රසන්න රණතුංග මහතා මත්තල ගුවන්තොටුපලේ සහාය ගුවන් පථය සහ සම්බන්ධ ඉදිකිරීමටද පියවර ගන්නා බව පැවසිය.