ජනතා මුදලින් නඩත්තුවන මැති ඇමති මණ්ඩලය රටට සේවය නොකරන්නේ නම් කළ යුතු වන්නේ වැටුප් වැඩි කිරීම නොව ඔවුන්ගේ වැටුප් වරප්‍රසාද කප්පාදු කිරීම යැයි මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.
මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද හිමියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසිය.
ජනතා බදු මුදල් යොදවමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම පාලම්, බෝක්කු, සනීපාරක්ෂක පද්ධති පවා සකස් කළද මැති ඇමතිවරුන් එහි ඔවුන්ගේ නම සඳහන් පුවරු සවිකර ගැනීමට පසුබට නොවන බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත්ගම ධම්මානන්ද හිමියෝ,
“දැනට වසය අවුරුදු 103ක් කාලයක් ජීවත්වන මට නිදහස ලැබීමට පෙර හා පසු යුගවල අත්දැකීම් තිබෙනාවා. වයෝවෟද්ධ වුවත් දශක ගණනාවක කාලයක් තුළ සිදු වූ සමාජ පෙරළිය මට අමතක නැහැ. එදා දේශපාලඥයන් දෙස බලන විට අද දේශපාලඥයන්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි.
පෙර යුගවල සිටි මන්ත්‍රීවරුන් පුස්තකාලයක් බදුයි. ඒ තරමට ඔවුන් දැනුමින් සන්නද්ධයි. ජනතාව මෙන්ම පාර්ලිමේන්තු වාර්තාකරන මාධ්‍යවේදීන් පවා ඒ දේශපාලඥයන්ගේ දේශන අසා දැනුමින් පරිපූර්ණ වෙනවා.
නමුත් අද දකින්ට තිබෙන තත්ත්වය බෙහෙවින්ම කනගාටුදායකයි. පාර්ලිමේන්තු සැසිවාර සඳහා දිනකට ලක්ෂ ගණනින් මුදල් වැය කරනවා. බොහෝ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැහැ. ඔවුන් නිසා නිරපරාදේ මුදල් නාස්තිවෙනවා. ඔවුන් කරන කතා ඵලදායක නැහැ. ඇතැම් කතා අසා සිටින්නටවත් බැහැ. එහෙම පිරිස් තමා අද රට පාලනය කරන්නේ. ඇතැම් මැති ඇමතිවරුන් ජනතාවට කරන හෝ මේ දක්වා කරපු සේවයක් නැහැ.
සෑම අතින්ම ජනතාව පීඩාවට පත්ව සිටිද්දී ඔවුන් සිය වැටුප් ඉහළ නැංවීමට උත්සහ කරනවා. රුපියල් ලක්ෂ තුනහමාරක් ලබා ගන්නා අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබුණා, එම මුදලින් ඔහුට ජීවත්වෙන්න අසීරුයි කියලා. එවැනි වැටුප් ලබන අය එසේ පවසනවා නම් සාමාන්‍ය වැටුප් ලබන පොදු ජනතාව ජීවත්වන්නේ කෙසේද?
කැබිනට් ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති ආදී ලෙස එක් විෂයකට ඇමතිවරු ගණනාවක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් ලේකම්වරු තොග පිටින් ඉන්නවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරද්දී තවත් අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කරන්නේ ඉහත කී මැති ඇමතිවරුන් කරන කාර්යයභාරය පිළිබඳව විශ්වාසයක් නොමැති නිසාද? කවුරු පත්කළත් ඔවුන්ගේ වැටුප්, කාර්යය මණ්ඩලය, දීමනා, වරප්‍රසාද සඳහා මුදල් සම්පාදනය කර ගන්නේ ජනතාවගේ බදු මුදල්වලින්."
චමිල් රූපසිංහ