මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට
නැඟෙනහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ පැවති මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (Provincial Health Training Center - Batticaloa) ජාතික මට්ටමේ අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක් (National-level Educational Training Center) ලෙස ශ්‍රේණිගත කරමින් එහි සම්පූර්ණ පරිපාලන සහ ක්‍රියාකාරී වගකීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීම නිල වශයෙන් සිදු කරන ලදී.
ඒ අනුව ඊට අදාළ භාරදීමේ සහ භාරගැනීමේ නීත්‍යානුකූල සහ පරිපාලනමය ලේඛණ (Memorandum of Handing Over and Taking Over) සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නැඟෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්. සරවණභවන් මහතා අත්සන් තැබීම මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.
නැගෙනහිර පළාතේ පමණක් නොව, දිවයිනේ සමස්ත සෞඛ්‍ය සේවාවේම ප්‍රගතිය උදෙසා ගුණාත්මක මානව සම්පතක් බිහිකිරීමට මෙම මධ්‍යස්ථානය තවත් සංවර්ධනය කරමින් යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී පැවසීය.
මෙම නව ශ්‍රේණිගත කිරීම සහ පැවරීමත් සමඟ, අදාළ පුහුණු මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුහුණු, අධ්‍යාපන හා පර්යේෂණ අංශයේ (Directorate of Training, ET&R Unit) ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇත.
මෙතැන් සිට ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ සම්පූර්ණ පාලන අධිකාරිය, භෞතික යටිතල පහසුකම්, සියලුම දේපළ හා වත්කම් මෙන්ම මානව සම්පත් ද අමාත්‍යාංශය වෙත පැවරෙන අතර, එමඟින් ජාතික මට්ටමේ සෞඛ්‍ය අධ්‍යාපන හා පුහුණු කටයුතු කිසිදු බාධාවකින් තොරව වඩාත් උසස් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාමට අවස්ථාව සැලසේ.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (Provincial Health Training Centre - PHTC) නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තිරයිමඩු (Thiraimadu) ප්‍රදේශයේ පිහිටා ඇති නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ (Provincial Department of Health Services - PDHS) සහ නැගෙනහිර පළාත් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන පුහුණු මධ්‍යස්ථානයකි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (PHM) සඳහා අවශ්‍ය මූලික සහ අඛණ්ඩ වෘත්තීය පුහුණුවීම් ලබා දීම මෙහි ප්‍රධානතම කාර්ය වන අතර, සෞඛ්‍ය ක්ෂේත්රයේ නව ප්රවණතා, සෞඛ්‍ය කළමනාකරණය, සහ ලෙඩ රෝග පාලනය පිළිබඳව ඉහත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කුසලතා සහ දැනුම යාවත්කාලීන කිරීම සඳහා විශේෂ වැඩමුළු සහ පුහුණු පාඨමාලා මෙම මධ්‍යස්ථානය තුළින් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම මධ්‍යස්ථානය නේවාසිකාගාර පහසුකම්, සම්පත් මධ්‍යස්ථානයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, ව්‍යායාම ශාලාවක්, ජල විද්‍යාගාරයක්, තොරතුරු තාක්ෂණ (IT) විද්‍යාගාරයක්, වායුසමීකරණය කළ පන්තිකාමර, ආපනශාලාවක්, සම්මන්ත්රණ ශාලාවක් සහ වායුසමීකරණය කළ ශ්‍රවණාගාරයක් ඇතුළු නවීන පහසුකම්වලින් සමන්විතය. තවද, සිසුන් සඳහා පුළුල් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරමින් බාහිර ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩ සහිත එළිමහන් පරිශ්‍රයක් සහ ප්‍රවාහන පහසුකම් ද මෙහි සපයා ඇත.
දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුහුණු වැඩසටහන් මෙම මධ්‍යස්ථානය තුළින් පවත්වන අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI), අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂක (SPHI), අධීක්ෂණ මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකා (SPHM), මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකා (PHM), සෞඛ්‍ය උපස්ථායක (Health Attendant) සහ ඖෂධ සංයෝජක (Dispenser) පුහුණුව ඇතුළු වෘත්තීය පාඨමාලා රැසක් ද පවත්වනු ලබයි. මෙයට අමතරව, නැඟෙනහිර පළාත පුරා සේවය කරන සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල දෙපාර්ශ්වය සඳහාම නිරන්තරයෙන් සේවාස්ථ පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
