තමන් ඉලක්ක කර වෙඩි තබා දින ගණනාවක් ගත් වුවද මෙතෙක් හරි හැටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ අපොහොසත් වීම පිළිබඳ දැඩි කනගාටුවට පත්වන බවත්, වෙඩිතැබීමේ පරීක්ෂණ කටයුතු වෙනත් දෙසට හැරවීමට ආරක්ෂක අංශ උත්සාහ ගන්නා බවත්, මේ පිළිබඳ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් පොලිස්පතිවරයාද ෆේල් බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් 18 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරව් කළහ.
මංගලගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු තමාගේ ඥාතියෙකු බවට සමාජගත කිරීමට ආරක්ෂක අංශ උත්සාහ දරන බවත් ඔහු කිසිසේත්ම තමාගේ ඥාතියෙක් නොවන බවත් උන්වහන්සේ පැවැසූහ.
මෙම වෙඩි තැබීම් පිටුපස නැගෙනහිර පළාතේ අති භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත්, තමන්වහන්සේ ඝාතනය කිරීමෙන් පසු විහාරස්ථානයට ආරක්ෂාව ලබාදීමෙන් පලක් නොවන නිසා රටේ වගකිවයුතු ආරක්ෂක අංශ මෙන්ම අගමැති, ජනාධිපතිවරයාගේ, අවධානය මේ සඳහා යොමු විය යුතු බවද නාහිමියන් සඳහන් කළහ.
මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මඩකලපුව ශ්‍රි මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් මෙසේද සඳහන් කළහ.
"මම මේ නැගෙනහිර පළාත ත්රස්තවාදීන්ගෙන් රැකගන්න යුද හමුදාවට ශක්තියක් දුන්න කෙනෙක්. මේ රටට හොඳක් වෙන්න යමක් කතා කරල ජාතියට දෙයක් කරන්න ගිහිල්ලා වෙඩි උණ්ඩයකට මූණදෙන්න වීම පිළිබඳ මම කනගාටු වෙනවා, මම නින්දෙ ඉද්දි කළුවර අවස්ථාවක වෙඩි තැබීම් සම්බන්ධයෙන්ව මම අදටත් ඉන්නේ ලොකුකම් කම්පනයකින්" අම්පිටියේ සුමනරතන නා හිමියන් දෙනෙතේ කඳුලු පුරවා ගනිමින් සඳහන් කළහ .
"උතුරට, දකුණට, බස්නාහිරට, කියලා වෙන බුදු හාමුදුරුවෝ කෙනෙක් නෑ. නමුත් මට වෙඩි තිබ්බ ආරංචියිට මේ රටේ හාමුදුරුවරුන්ගෙන් කීයෙන් කීදෙනාද මොකද උනේ කියලා ඇහුවේ. හතරනමයි දුරකථන ඇමතුමක් දුන්නේ. ඒ වගේම ප්රජාතන්ත්රවාදය රකිනවා කියන, නීති හදන්න, සමාජය හදන්න පාර්ලිමේන්තුවේ 225 ක් කටයුතු කරනවා. හැබැයි ඒ අයගෙන් මන්ත්‍රීලා කතා කරේ මට හතරදෙනයි.
ඉතින් මේ ගැටලුව මම හිතනවා හැමදාම මට තියෙයි කියලා. මොකද රජය අප වෙනුවෙන් අවධානය දෙනවා අඩුයි. මේ වෙඩිල්ල දකුණේ භික්ෂුවකට තිබ්බා නම්, කොළඹ නුවර භික්ෂුවකට තිබ්බනම්, මීට වඩා තත්ත්වය වෙනස්, විවිධ ජාතීන් ආගම් සමඟ සිංහල බෞද්ධයෝ අඩුවෙන් සිටින මේ නැගෙනහිර පළාත රැකගන්න ඉන්න මට වෙඩි තිබ්බට පස්සේ ඇයි මේ බෞද්ධයෝ නිහඬ කියලා මම කනනගාටු වෙනවා.
කරුණාකරලා බොරු ප්රවෘත්ති රටට මවන් නැතුව මේ පිළිබඳ සොයා බලා වෙඩි තිබ්බ කෙනා අත්අඩංගුවට ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මට ඇත්තටම වෙඩි තිබ්බේ පොහොට්ටුවෙන්ද, ජේවීපීද, සජබද, යු,එන්.පි.ද නැත්නම් වෙනත් පක්ෂයකින්ද, ත්‍රස්තවාදි කණ්ඩායම්ක්ද, කියලා හොයා ගන්න ඕනේ.
මොකද මම අසාධාරණයට, අයුක්තියට, නැගෙනහිර පළාතේ බෞද්ධ ජනතාව වෙනුවෙන් සටන් කරන අයෙක්, ඒ නිසා ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු කරලා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරලා මට වෙඩි තිබ්බ කෙනා වහාම රටට හෙළිදරව් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා"
මේ පිලිබද ප්‍රදේශයේ ආරක්ෂක අංශවල උසස් නිලධාරීන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා සහ නාහිමියන් ලබාදුන් ප්‍රකාශ අනුව විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි.
