මෙරට තුළ ඇති ප්‍රශ්න මරණ දණ්ඩනයෙන් විසඳිය නොහැකි බවත්, ඊට හේතුව නීතිය හැමට එක ආකාරයට අපක්ෂපාතීව ශ්‍රිඝ්‍රයෙන් ක්‍රියාකාරී නොවීම බවත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සුඛිත පුරවර ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කැකිරාව පොදු වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"දැන් මරණ දණ්ඩනය දෙන එක ගැන කතා කරනවා. අනුරාධපුරයෙත් යකඩයා , මරු සිරා හිටියා. ඒ කාලයේ විශාල ආන්දෝලනාත්මක චරිත. මරණ දණ්ඩනය දෙනවා කියන එක අපි බෞද්ධයෝ හැටියට කල්පනා කරලා බැලුවොත් ජීවිතය කියන එක ගත්තොත් ආපහු හරවන්න බෑ. මිනිහෙක්ගේ අතක්, පයක් කැපුවා කියලා ජීවිතය සමහර විට පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ජීවිතය ගත්තට පස්සේ ආපහු ගන්න බෑ. ඒක නිසා මේ ප්‍රශ්නයට ඔව්, නෑ කියලා උත්තර දෙන්න හරිම අමාරුයි.
මරණ දඬුවමට පක්ෂද , විරුද්ධද කියලා උත්තර දෙන්න හරි අමාරුයි. එක පැත්තකින් මේ රටේ නීතියේ ප්‍රශ්නයක් තියෙනවා. නඩුවක් සාමාන්‍යයෙන් අහලා ඉවර කරන්න අවුරුදු 17 1/2 ක් යනවා. යුක්තිය ඉටු වෙන්නේ නෑ අවුරුදු ගණන්. දශක ගණන් යනකොට. මේ නිසාම අපරාධ කරන්න, මත්ද්‍රව්‍ය ගෙන්වන්න, මිනී මරන්න, පාතාල කල්ලි වලට එතනෝල් , මෙතනෝල් විකුණන්න කිසිම භයක් සැකක් නෑ. ඒ වගේම ඒක දේශපාලනයට එන්නත් කිසිම බයක් සැකක් ඇති වෙලා නෑ. ඒ නිසා මරණ දණ්ඩනය ගේන්න කලින් කාර්යක්ෂම නීතියක් තියෙනවද.
ඕනම නඩුවක් අවුරුදු 03න් අහන්න පුළුවන් නීති පද්ධතියක් මේ රටේ හදන එක තමයි වැදගත් සහ මූලික කාරණය. ඒ කාරණය අපි ඉටු නොකරයි මේ ගමන් කරන්නේ. මේ වගේ කාරණා ගැන උනන්දු වෙන සමාජයක් තියෙනවා. අරාබි ලෝකයේ මේක ප්‍රශ්නයක් නෙමෙයි, ආගමික කියවීම් තියෙනවා. දඬුවම් දෙනවා, අත,පය කපනවා, ගල් ගහනවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
ජපානය, ඇමරිකා එක්සත් ජනපදය මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. ඒවා බොහෝම පරිස්සමින් හොයලා බලලා, කාලාන්තරයක් අරගෙන ඒ කටයුත්ත කරන්නේ. එක් දහස් නවසිය අනූ ගණන් වල මුල් භාගයේ සෝකෝ අසාරා කියලා හිටියා ආගමික උන්මත්තකයෙක් ජපානයේ ඝාතනයක් කලා. එයාට දශක කීපයකට පස්සේ මරණ දණ්ඩනය දුන්නා.හොඳට හොයලා බලලා කළේ.
තවත් සමහර යුරෝපා රටවල් මරණ දණ්ඩනය කරන්න දෙන්නෙ නෑ. අපේ රටටත් කියලා තියෙනවා ජී.එස්.පී සහනය පිළිබඳව සලකා බලන්න ඕන කියලා මේ මරණ දණ්ඩන ප්රශ්නය මත. ඒ රටවල් වල එක එක්කෙනා මේක දකින හැටි වෙනස්. ඒ නිසා අපි දැන ගන්න ඕන මේ ගැන මත ගණනාවක් තිබුණත් මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්රශ්නය මරණ දණ්ඩනයෙන් විසඳන්න පුළුවන් එකක් නෙමෙයි නීතිය ක්‍රියාත්මක වීම කාර්යක්ෂම නෑ , නීතිය ක්‍රියාත්මක වීම අපක්ෂපාතී නෑ, නීතිය ක්‍රියාත්මක වීම මේ ආණ්ඩුව ස්වාධීන කලා. දේශපාලන අතපෙවීම් අද නෑ. අධිකරණයට හෝ විනිසුරුවරුන් පත් කිරීමට. හැබැයි නීතිය හැමට එක ආකාරයට අපක්ෂපාතීව ශිඝ්‍රයෙන් ක්‍රියාකාරී වෙන්නේ නෑ. ඒකයි ප්රශ්නය. ඒ නිසාම සෑහෙන ප්‍රශ්න වලට අද මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. සංවර්ධනය කරන්න ගියත්, සමාජයට ගියත් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව සමාජය විවෘතව කල්පනා කළ යුතුයි. ආවේගශීලී හැගීම්බර ක්‍රියාදාමයන් වලටම ගමන් කරන්නෙ නැතිව" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.