පවතින භූමි තෙල් හිගය හේතුවෙන් මෙරට උළු කර්මාන්තය කඩා වැටී ඇති බවත් මේ වන විට රටෙහි පවතින උළු කර්මාන්තශාලා 225 ක් අතුරින් කම්හල් 200 ක් පමණ වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
මෙරට නිවාස සෙවිලි අවශ්‍යතාවයෙන් සියයට තිහක් සපුරාලීම සිදු කරන උළු කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් මේ යටතේ සෘජු හා වක්‍ර රැකියාවන්හි නිරත ලක්ෂ පහකට අධික පිරිසකගේ රැකියා අවස්ථා අහිමිවන තත්ත්වයකට පත් වෙමින් පවතින බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයෙහි සභාපති බැප්ටිස් ප්‍රනාන්දු මහතා පැවසීය.
සිය කර්මාන්තය පත්ව ඇති තත්ත්වය පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීය.
" උළු නිෂ්පාදනය කිරීමට එක් කර්මාන්තශාලාවකට සතියකට අවම වශයෙන් භූමි තෙල් ලීටර් පනහක් විතර අවශ්‍ය වෙනව. උළු සකස් කිරීම සඳහා අච්චුවල මැටි නොතැවරීමට ගාන්නෙ භූමි තෙල්. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිවීම නිසා කර්මාන්තශාලා දෙසීයක් විතර වැසී යන තත්ත්වයට පත්ව තිබෙනව. භූමි තෙල් හිගය ගැන මාස තුනක පමණ කාලයක සිට ඛණිජ තෙල් ඇමතිවරයාට, සංස්ථාවේ සභාපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙමින් අවශ්‍යතාවය සපුරා දෙමින් මෙම කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය සහන සලසාලන ලෙස ඉල්ලා ඇතත් යැවූ ලිපිවලටවත් පිළිතුරුවත් නැහැ.
වර්තමානය වන විට රටේ වහල සෙවිලි අවශ්‍යතාවයෙන් සියයට තිහක් උළුවලින් සපුරන අතර දැඩි උෂ්ණත්වයට විසදුමක් වශයෙන් උතුරු , නැගෙනහිර පළාත්වල සියයට හැත්තෑවක් සපුරාලීමක් වෙනව. අද වන විට මෙරට ලාභදායී වහල සෙවිලි ක්‍රමය උළු පමණයි.
උළු කර්මාන්තශාලා ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ හතලිහක්, දිවුලපිටිය සහ මීරිගම දහයක් වගේම කැලණිය , වැඩි වශයෙන් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවතිනව. මෙම කර්මාන්තශාලා සදහා අවශ්‍ය මැටි , කැලණිය මිටියාවතෙන්, මහඔය මිටියාවතෙන් සහ දැදුරුඔය මිටියාවත ආශ්‍රිතව ලබා ගනිමින් මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සිදු කරනු ලබනව.
සියයට සීයක්ම දේශීය අමු ද්‍රව්‍ය භාවිතා කරමින් රටේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රධාන අවශ්‍යතාවයක් සපුරාලන මැටි උළු කර්මාන්තය කඩා වැටීම නොදී ඉදිරියටත් පවත්වාගෙන යාම පිනිස භූමි තෙල් අවශ්‍යතාවය සපුරාලීමට රජයේ අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.
ගම්පහ - තිලකරත්න දිසානායක