ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් තලවකැලේ, ආගරපතන, බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපල පුද්ගලික අංශයට ලබාදීමට රජය ගෙන ඇති තීරණයට තමන් දැඩි ලෙස විරෝධය දක්වන බව එම ගොවිපළේ සේවකයෝ පවසති.
අක්කර 1133 කින් සමන්විත බෝපත්තලාව සත්ත්ව ගොවිපළ විශාල ලාභයක් ලබමින් සිටියදී මෙසේ දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට රජය විසින් මේවනවිටත් ටෙන්ඩර්පත් කැඳවා ඇතැයි එම සේකයෝ කියති.
මෙසේ පුද්ගලික ආයතනවලට ගොවිපළ විකිණීමෙන් එහි සේවය කරනු ලබන සියයක පමණ සේවකයන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත්, මේ හේතුවෙන් තමන්ගේ රැකියා පවා දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු සඳහන් කරති.
ගොවිපළ මෙසේ පුද්ගලික අංශයට පැවැරීමට විරෝධය දක්වමින් බෝපත්තලාව සත්ත්ව ගොවිපළේ සේවකයෝ පසුගියදා විරෝධතාවයක පවා නියලිණි.
බෝපත්ත්ලාව සත්ත්ව ගොවිපළට අමතරව අක්කර 500 කින් සමන්විත පුත්තලම කොට්ටුකච්චිය ගොවිපළ, අක්කර 1054 කින් සමන්විත කුරුණෑගල නිකවැරටිය ගොවිපළ, අක්කර 1477 කින් සමන්විත අනුරාධපුර ඔයාමඩුව ගොවිපළ, අක්කර 1632 කින් සමන්විත අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපළ සහ අක්කර 472 කින් සමන්විත හම්බන්තොට වීරවිල ගොවිපළ රජය විසින් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීනව බදුදීමට මෙසේ පියවර ගෙන තිබේ.