ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරට අදාළ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බවට මහජන උපයෝගීතා කොමිසම අද (14දා) ප්‍රකාශයක් නිකුත් කළත්, විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය එවැනි එකඟතාවක් පළ කර නොමැති බව එම සන්ධනායේ සාමාජික විදුලිබල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම ශාඛාව පවසයි.
ප්‍රසාද දීමනා ලබාදෙන ලෙස හෝ ලබා නොදෙන ලෙස මෙම සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති ඉල්ලීමක් කර නොමැති බවත්, එහෙත් ආණ්ඩුව නියෝජනය කරන සාමාජිකයන් අඩු පිරිසක් සිටින සංගමයකින් එවැනි ඉල්ලීමක් සිදුකර තිබෙන බවට වාර්තා වන බවත් විදුලිබල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ශාඛාවේ ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මහතා සඳහන් කළේය.
මේ නිසා මේ වසරේ ප්‍රසාද දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ තීරණයක් ගැනීමට ඒකාබද්ධ සන්ධානය නියෝජනය කරන වෘත්තීය සමිති 32 නියෝජියන් හෙට (16දා) කොළඹදී රැස් වී අදාළ තීන්දු තීරණ ගන්නා බවද හෙතෙම පවසා සිටියේය.
විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට එරෙහිව හා විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරුද්ධව ඒකාබද්ධ සන්ධානය මේ වනවිට වරින් වර වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරමින් තිබෙන බවත්, මේ නිසා විදුලිබල මණ්ඩල සේවකයින් හා ජනතාව අතර ගැටුමක් ඇති කිරීම සඳහා ප්‍රසාද දීමනාව අත්හැරීමට කටයුතු කළ බවට විවිධ පිරිස් ප්‍රකාශ කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
මේ අනුව ප්‍රසාද දීමනා අවශ්‍ය බවට වෘත්තීය සමිති ප්‍රකාශ කළහොත් ජනතාව තුළ වැරදි වැටහීමක් ඇති වන බවත්, එහෙත් පාඩු ලබන ඇතැම් ආයතනවල පවා මේ වනවිට ප්‍රසාද දීමනා ගෙවා තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ප්‍රසාද දීමනාව අත්හැරීම සඳහා එකඟතාව පළ කළ බවත්, මෙම ප්‍රසාද දීමනාව අත්හිටුවීමෙන් රුපියල් බිලියන ගණනක් ඉතුරුවක් සිදුවන බවත් ඊයේ මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනු ලැබීය.