බෝ නොවන රෝග සඳහා නව කාර්ය සාධක බලකායක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ, ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, පොදු ජනතාව සහ ජන මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේ සම්බන්ධීකරණයෙන් බෝනොවන රෝග සදහා වන කාර්ය සාධක බලකායක් මේ වන විට ආරම්භ කරමින් පවතින බවත්, එහි මුලික සාකච්ජා මෙම සතියේ පැවැත්වෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පිළිකා රෝග, හෘද රෝග, වකුගඩු රෝග, ශ්වසන පද්ධතියට අඳාළ රෝග සහ දියවැඩියාව වැනි රෝග කෙරෙහි මුලික අවධානය යොමු කරමින් ඊට අඳාළව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද සම්න්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඒ ඔස්සේ අඛණ්ඩව බෝ නොවන රෝග පාලනය කර මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කරන බව ද පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේ රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය අද (06) මහරගම අපේක්ෂා රෝහලේ දී ආරම්භ කරන අවස්ථාවට එක්වෙමිණි.
ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වේ. එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව විෂයට අඳාළ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයන් සහිතව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වැයකර ඉදිකළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත මුළුතැන්ගෙය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ව්‍යාපෘතියට සමගාමීව අපේක්ෂා රෝහලේ දී අද විවෘත කරන ලදී.
එම මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි පරිවර්තනය කර ඇති අතර නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබේ.
මහරගම අපේක්ෂා රෝහලේ පාලන අධිකාරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන මෙම විශේෂ වැඩසටහනට රුහුණු මහා කතරගම දේවාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ලේඩි ජේ ආයතනය, හයිඩ්රාමනි ආයතනය සහ ග්‍රෑන්ඩ් මොනාක් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, හෝටලය, සුමනදිසි සමූහ ව්‍යාපාරය, නෝර් ලංකා මැනුෆැක්චරින් කලම්බෝ ලිමිටඩ් එක්ව මෙම ව්‍යාපෘතිය සදහා සහයෝගීතාවය ලබා දී ඇත.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ වර්තමානයේ තිබෙන විශාලතම අභියෝගය බෝනොවන රෝග බවත්, මහරගම අපේක්ෂා රෝහලේ සංඛ්‍යා ලේඛණ අනූව වර්ෂයකට ලක්ෂ තුනක් සායන සදහා පැමිණෙන බවත්, එයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා බවත් පැවසීය.
වසරකට අලුත් පිළිකා රෝගී තිස්පන්දහසක් මෙරටින් හමුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එයින් එකොලොස් දහසක් මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කළේය. රජය වැඩිම මුදලක් වැය කරනු ලබන්නේ ද බෝ නොවන රෝග පාලනය සදහා බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.
මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අනෙකුත් රෝහල්වලටත් මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙන බවත්, මෙය සාමූහික කටයුත්තක් බවත්, මෙම නියමු ව්‍යාපෘතිය නිරීක්ෂණය කර තම කැමැත්ත අනුව තවත් රෝහල්වල මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආධාර උපකාර කරන ලෙස ද අමාත්‍යවරයා මෙහි දී විවෘත ආරාධනාවක් ද සිදු කළේ ය.
මෙහි දී ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සම්පාදිත පෝෂණ මාර්ගෝපදේශ කිහිපයක්ද එළිදක්වන ලදී.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
