බෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් බෙලිඅත්ත - මත්තල පිවිසුම් මාර්ගයට වම් පසින් පිහිටා තිබූ නිවසක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කරීමක් සම්බන්ධ ව බෙලිඅත්ත පොලීසියට අද (10)දින පැමිණිල්ලක් ලැබී ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
මෙලෙස මෙම යතුරුපැදියේ හිමිකරු බෙලිඅත්ත පොලීසියට පවසා ඇත්තේ ඔහු ගුරු වෘත්තියේ නිරත වන බවත්, ඔහු කොළඹ ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු බවත් ය.මොහු පදිංචිව සිටින මිද්දෙනිය ප්‍රදේශයේ සිට මොහු යතුරුපැදියෙන් පැමිණ,බෙලිඅත්ත - මත්තල පිවිසුම් මාර්ගයේ වම් පස ඇති නිවසක් ආසන්නයේ යතුරුපැදිය නවතා තබා අධිවේගී මාර්ගයේ තම රැකියාව සඳහා මෙම මස 04 වන දින ගමන් කර ඇති අතර ,රැකියාව නිමා වී දින 6කින් පසු ව අද දින (10) මොහු නැවත යතුරුපැදිය නවතා තැබූ ස්ථානයට ගොස් යතුරුපැදියෙන් තමන් පදිංචි මිද්දෙනිය නගරය වෙත යතුරුපැදිය රැගෙන යෑමට පැමිණි විට එය එම ස්ථානයේ නොතිබුණු බව පැමිණිලිකරු පොලීසිය වෙත පවසා ඇත.
මෙම පැමිණිලිකරු සෑම සති අන්තයේ ම සහ සති ආරම්භයේ ම මෙම කර්තව්‍යය සිදුකරන බවත්, මෙම සතිය ඇතුළත දී ඔහුගේ නවතා තිබූ යතුරුපැදිය සොරකම් කර ඇති බවත් පැමිණිලිකරු පොලීසියට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධව පැමිණිලිකරුගේ යතුරුපැදිය නවතා තිබූ අසල නිවසෙහි පුද්ගලයින් පොලීසියට පවසා ඇත්තේ පෙරේදා 8 වන දින ද යතුරුපැදිය එම ස්ථානයේ ම තිබූ බවත් , පැමිණිලිකරු අද දින පවසන තෙක් ඔවුන් යතුරුපැදිය නැති වී ඇති බව නොදැන සිටි බවත් ය.
තවද එම නිවසෙහි වැසියන් පොලීසියට පවසා ඇත්තේ යතුරුපැදි බොහෝමයක් විටින් විට ඔවුන්ගේ නිවස අසල නවතා තබා යන බවත් සහ ඔවුන් ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බවත් ය. මෙලෙස නැති වී ඇති යතුරුපැදිය SPTP 1232 නැමැති බජාජ් ප්ලැටිනා වර්ගයේ යතුරුපැදියක් වන අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරන බව බෙලිඅත්ත පොලීසිය පවසයි.