ජනාධිපතිවරණ පනතට පටහැණි වන ආකාරයට 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළ බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්ෂි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (19දා) දැනුම් දුන්නේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා දැනුම්දීමෙන් අනතුරුව විත්ති වාචක කැඳවීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේය.
2015 නොවැම්බර් මස 23වැනිදාත් දෙසැම්බර් මස 31වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කර තිබියදී ජනාධිපතිවරණ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැණි වන ආකාරයට එම ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදාහැරීම මගින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා සහ ආර්.ඒ.පී. රණවක මහතා අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු ගණකාධිකාරීවරයෙකු සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරන බව දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්ෂි කැඳවන්නේදැයි යන නියෝගය ලබන මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම්දුන් විනිසුරුවරයා, මෙම නඩුව ලබන මස පළමුවැනිදා යළි කැඳවීමටද නියම කළේය.