ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබින්’ එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ලබන සතියේදී නඩු පැවරීමට බලාපොරොත්තුවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (03) දැනුම් දුන්නේය.
ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ පර්යේෂණ නිලධාරී ලයනල් ගුරුගේ ඇතුළු පස්දෙනෙකු ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශනේ රහස් පොලිසිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, නීතිපතිවරයා, ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දිය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය ඇමතිවරයා සහ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පෙත්සමෙහි සදහන් වේ.
ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව යමින් මෙම තීරණය ගෙන ඇති අතර සෞඛ්‍ය ඇමතිවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා එම ප්‍රසම්පාදන පටිපාටිය අවභාවිතයට ලක් කොට ඇති බව පෙත්සමෙහි දැක්වේ.
ජනතාවගේ සෞඛ්යාරක්ෂිත සහ යහපැවැත්ම පිළිබඳ තැකීමකින් තොරව ගෙන ඇති මෙම තීරණය මගින් මහජනතා මුදල් අවභාවිතයට ලක් කර ඇති බවද පෙත්සම මගින් චෝදනා කර ඇත.
පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් දෙන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.
අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සහ මිලදී ගැනීමට නියමිත ඖෂධ සඳහා ගෙවීම් සිදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය අමතමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර දෙන ලද නියෝග අනුව ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශන රහස් පොලිසිය මේ වන විට අවසන් කර සියලු වාර්තා නීතිපතිවරයාට එවා ඇතැයි කීය.
එම ඖෂධ මිලදී ගැනීමට අදාළව විගණකාධිපතිවරයා විසින් විශේෂ විගණන පරීක්ෂණයක් කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සඳහන් කළේය.
ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇති බවත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ලබන සතියේ දී අධි චෝදනා ගොනු කිරීමට සූදානම් වන බවත් කී නිර්මලන් විග්නේෂ්වරන් මහතා කෙසේ වුවත් පෙත්සම මගින් පෙන්වා දී ඇති තවත් ඖෂධ ගණනාවක් සහ ආම්පන්න මිලදී ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බවද සඳහන් කළේය.
රහස් පොලිසිය සහ අල්ලස් කොමිසම විසින් අදාළ විමර්ශන කටයුතු සිදු කරන බවද ඊට අදාළ ගොනු රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් ලබා ගෙන ඇති අතර ඒවා විමර්ශනයට බඳුන් කරන බවද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අදාළ විමර්ශන කිරීමට මාස හයක කාලයක් දෙන ලෙස ඉල්ලා එක් මෝෂමක් ගොනු කළ බවද සඳහන් කළේය.
එසේම අධිකරණය විසින් මීට පෙර කළ නියෝගය අනුව ඖෂධ මිලදී ගැනීම සහ ගෙවීම් කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේය.
අදාළ ඖෂධ මිලදී ගැනීමට අදාළ ගෙවීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර කළ නියෝගය හේතුවෙන් ඇතිවු අපහසුතාවයන් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් අනෙක් මෝෂම ගොනු කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.