බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ මෙගාවොට් 35ක ධාරිතාවය නොබෝ දිනකින් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
"මීට ඉහතදී මා විදුලිබල අමාත්‍යවරියව සිටි අවධියේ ඉදිකිරීම් ආරම්භ කළ බලාගාරයක්, නැවතත් විදුලිබල අමාත්‍යවරිය වශයෙන් මට ජාතික පද්ධතියට එක්කිරීමට ලැබීම මහත් භාග්‍යයක්. අපේ රජය බලයට පත්වූ වහාම මෙතෙක් කලක් ප්‍රමාදවූ මෙම බලාගාරයේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගනු ලැබුවා.
අද මේ රටේ ඇති ජල විදුලි අර්බුදයට යම් විසදුමක් හැටියට යොදැගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් 35 ක ධාරිතාවය හැකි ඉක්මණින් ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වෙනවා" යැයි ඇය පැවැසීය.
ඊයේ (15) පස්වරුවේ බ්‍රෝඩ්ලන්ඩ් බලාගාර පරිශ්‍රයේ පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කළාය.
කැළණි ගඟ ආශ්‍රිතව පොල්පිටිය, කිතුල්ගල ප්‍රදේශයේ ස්ථාපිත ලක්ෂපාන සංකීර්ණයේ අවසාන ජලවිදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලනඩ් බලාගාරය, 2013 වසරේදී වැඩ ආරම්භ කළ අතර මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමවී තිබේ.
මෙම ව්‍යාපෘතිය සදහා වැයවන ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 82 කි. ඉදිකිරීම් කටයුතු චීනයේ චයිනා නැෂනල් ඉලෙට්‍රික් සමාගම මගින් සිදුකරන අතර මෙහි විශේෂත්වය වන්නේ උපදේශන හා අධීක්ෂණ කටයුතු දේශීය ඉංජිනේරුවන් අතින් සිදුවීමයි.
මෙම බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 35 ක් වන අතර එමගින් වාර්ෂිකව ගිගාවොට් පැය 126 ක් (බලශක්ති ඒකක මිලියන 126 ක්) නිෂ්පාදනය කළ හැකිවේ. එසේ නිපදවන විදුලි බලය, බලාගාරය අසල ඉදිවූ වහරු අංගනයේ සිට කිලෝවොට් 132 දිග ද්විත්ව රැහැන් මාර්ගයක් ඔස්සේ මිටර් 200 ක් පමණ දුරින් පිහිටි පොල්පිටිය - මාලිබොඩ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය හා සම්බන්ධ කිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙනු ඇත.


