"රටේ බහුතරයක් ජනතාව මෙම අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ නැහැ. රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ආර්ථිකය බිඳ වැටිලා. බොහෝ දෙනෙකුගේ ජීවන මාර්ග ඇහිරිළා. සමහරුන්ට ආර්ථික අර්බුදයත් එක්ක රැකියා අහිමි වෙලා. නැවතත් ජාත්‍යන්තරය තුළ අපේ රට පිළිබඳ විශ්වාසය තහවුරු කර ගැනීම අවශ්‍ය වී තිබෙනවා. එවැනි තත්ත්වයක පවතින හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වාගේ මැතිවරණ පැවැත්වීමෙන් විතරක් විසඳුම් සොයන්න බැහැ." යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා කියයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) වීරකැටිය ප්‍රදේශයේ පැවැති මහජන හමුවක් අමතමිනි. ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය මල්ලක් බැගින් ලබා දීමේ වැඩ සටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
"මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සෑම සති අන්තයකම රටේ කොහේ හෝ ප්‍රදේශයකට යනවා. ඒ විතරක් නොවෙයි මහජනතාව හමුවෙනවා. ඒ ජනතාව ඉල්ලන්නේ ඔවුන්ගේ ජීවන වෘත්තින් පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් මිස මැතිවරණ නොවේ. අද මැතිවරණ අවශ්‍ය වෙලා තියෙන්නේ මහජනතාවට නොවෙයි. දේශපාලන පක්ෂ කිහිපයකට.
ප්රජාතන්ත්රවාදී රටක මැතිවරණ පැවැත්විය යුතුයි. මැතිවරණ කල් දැමීම හොඳ දෙයක් නොවෙයි. නමුත් අද අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය තත්ත්වයෙන් පවතින රටක් තුළ නොවෙයි. අර්බුද හැදුවේ කව්ද කියන එක හොයනවාට වඩා දැන් කළ යුත්තේ පවතින අර්බුදවලට විසඳුම් ලබා දීමයි. අද රටේ ජනතාව කියන්නේ දෙසිය විසිපහම එපා කියළයි. අහවල්ලු එපා. අපිට අහවල්ලු තමයි අපිට අවශ්‍ය කියළා මිනිස්සු කියන්නේ නැහැ.
මහජනතාව කියන්නේ දෙසිය විසිපහම එපා කියළයි. එහෙම නම් දැන් කළ යුත්තේ මේ සියලු දෙනාම එකට එක් වී රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීම මිස නැවතත් මැතිවරණ තියන්න කියළා බල කරමින් උද්ඝෝෂණ, පිකටින් කරමින් රට අරාජික කිරීම නොවෙයි.
අවුරුදු තුනක් තිස්සේ වැටී තිබුනු රට නැවතත් ටිකෙන් ටික හුස්ම ගන්න තත්ත්වයට දැන් පත්ව තිබෙනවා. නැවතත් සංචාරක කර්මාන්තය හිස ඔසවවනවා. මෙම මාර්තු මාසයේ අඩු තරමින් විදේශීය සංචාරකයින් 120,000ක් විතර රටට එනවා. පසුගිය මාස දෙකට ලක්ෂ දෙක ඉක්මවූ පිරිසක් පැමිණ තිබෙනවා.
ඒ වගේම තෙල් පෝළිම්, ගෑස් පෝළිම් නෑ. පැය 12ක් 13ක් විතර විදුලි බලය කපපු රටක දැන් පැය විසිහතර පුරාම විදුලි බලය ලබා දෙනවා. පළමු වතාවට පසුගිය දෙදින තුළ අපේ රුපියල නැවතත් ශක්තිමත් වෙමින් තිබෙනවා.
IMF අරමුදල් ලැබුනු විගස තවත් ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් එක දිගටම අපිට සහයෝගය පළ කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම ලොව බලවත් රටවල් ගණනාවක් අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා.
රටේ නායකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දූරදර්ශි නායකයෙක් බව අද ඔප්පු කර තිබෙනවා. එතුමාට හොඳ දැක්මක් තිබෙනවා. ගැටුම් කළමනාකරණය පිළිබඳව එතුමාට හොඳ පළපුරුද්දක් තිබෙනවා.
ඒ නිසා අද මැතිවරණ ඉල්ලා කෑ ගහන පිරිස විසින් කළ යුත්තේ වැඩ වර්ජන කරමින් තව තවත් වල පල්ලට රට ඇද දැමීම නොවෙයි. දේශපාලකයින් වශයෙන් අපි හැමෝම මෙම අර්බුදවලට වගකිව යුතුයි.
අපේ රට වසර හතරකට පසුව මෙම වසරේ දී නැවතත් සහළින් ස්වයංපෝෂිත වෙනවා. නැවත මේ රටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ වනවිට රට තුළ සහල් අතිරික්තයක් තිබෙනවා. ගොවි ජනතාව කුඹුරුවලින් එළියට බස්සවන්න ඇතැම් දේශපාලන පක්ෂ විවිධ බොරු කිව්වා. උත්සාහ කළා. නමුත් ඒවා තුට්ටුවකටවත් මායිම් නොකරපු ගොවි ජනතාව තම කුඹුරු වගා කළා.
සහළින් පමණක් නොවෙයි. මෙම වසරේ දී අපි මුං ඇට, කව්පි, රටකජු, තල, කුරක්කන් ආදි බෝගවලිනුත් ස්වයංපෝෂිත තත්ත්වයට ලඟා වෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය මිරිස් වලින් සියයට 25-30ක් දක්වා ප්‍රමාණයක් මෙම වසර තුළම අපි නිපදවනවා. 2025 වනවිට අඩු තරමින් අපිට අවශ්‍ය මිරිස්වලින් සියයට 80ක් අපිම හදා ගන්නවා."