කොළඹ - කතරගම ප්රධාන මාර්ගයේ දික්වැල්ල බතීගම මැල්පුර ප්රදේශයේදී අද (11දා) පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් රියැදුරකු මියගොස් තවත් 10 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
තංගල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ මාතර සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ මාතර සිට කතරගම බලා ධාවනය වූ බස් රථයේ රියැදුරු මහතා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වීරවිල ප්රදේශයේ පදිංචි අචල සඳරුවන් (34) නැමැත්තෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
බස් රථ දෙකෙහි පැමිණි පුද්ගලයන් 10 දෙනකු අනතුරින් බරපතළ තුවාල ලබා ඇති අතර ඉන් සිවුදෙනකු මාතර මහ රෝහලටත් තිදෙනකු තංගල්ල මූලික රෝහලටත් තවත් තිදෙනකු බතීගම රෝහලටත් ඇතුලත් කර ඇත. තවත් කිහිපදෙනකුට සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුර සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
අනීෂා මානගේ

