කැස්බෑව ඩිපෝවට ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරුට හා සහායකයාට එම ඩිපෝව තුළදී පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
පහරදීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් පැය කීපයක් තුළදී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කරයි.
එම පුද්ගලයා එම ඩිපෝවේ ම කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන්නෙක් බව පොලීසිය කියයි.
තෙල් සංස්ථාවේ සිට තෙල් රැගෙන ඒමෙන් පසුව එය භූගත ටැංකි වෙත ගොඩ බෑම සඳහා මද වේලාවක් ප්රමාද වී ඇති අතර
තමන්ව ඉක්මනින් පිටත් කර හරින ලෙස බවුසරයේ රියදුරු සහ සහායකයා පැවසීම මෙම පහරදීමට ආසන්නම හේතුව වී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ඩිපෝව තුළ සිටි කොන්දොස්තරවරයා සහ අනෙක් පුද්ගලයා ඔවුන් දෙදෙනාට පහර දී ඇතැයි පොලිසිය පවසයි.
කැස්බෑව ඩිපෝවේ සහකාර ධාවන කළමනාකාර පි එන් පුෂ්ෂකුමාර මහතා වහා මැදිහත් ව ගැටුමට සම්බන්ධ පිරිස් දෙපස කඩ කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බවත් ඒ මහතා පැවසීය.
පහර කෑ බවුසරයේ රියදුරු සහ සහායකයා 1990 සුවසැරිය ගිලන් රථය මගින් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කැස්බෑව පොලිසියේ නිලධාරීන් පියවර ගත්හ.
පහර දුන් බව කියන සැකකාර කොන්දොස්තරවරයා සහ අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පළා ගොස් සැඟවී සිටි බව පොලිසිය කියයි.
පහරදීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා එම ඩිපෝවේ ම වැඩ තහනමට ලක්වූ බස් රථ රියදුරෙකි.
එම පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි කැස්බැව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර කොන්දොස්තරවරයා කහපොල පදිංචිකරුවෙකි.
මෙම පහර දීමේ සිද්ධිය හේතුවෙන් පෞද්ගලික බස් රථ වලට සහ පාසල් වෑන් රථ වලට ඩීසල් ලබාදීම ද තරමක ප්රමාදයක් සිදු විය.
