ඉන්ධන පිරවූ බවුසරයක් තිබියදී පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා නොදුන් බව කියන දික්වැල්ල නගරයේ පිහිටි පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරවීමට දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට මැදිහත්වීමට සිදුවිය.
දික්වැල්ල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඩීසල් නොමැති බවට ඊයේ (27දා) දහවල් කාලයේ පුවරු ප්රදර්ශනය කර තිබේ. කෙසේ වුවද අදාල ඉන්ධන පිරවුම්හලට අයත් බව කියන ඉන්ධන පිරවූ බවුසරයක් දික්වැල්ල වලස්ගල ප්රදේශයේ නිවෙසක් ඉදිරිපිට නතර කර තිබී ඇත. මේ සම්බන්ධයෙන් ජනතාව පොලිසිය දැනුම්වත් කර තිබිණි. අදාල තෙල් බවුසරයේ තිබූ ඉන්ධන ජනතාවට ලබා දෙන ලෙසට දික්වැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජී.පී.ටී.ඉෂාර මහතා ඇතුළු නිලධාරිහු ඉන්ධන පිරවුම්හල් සේවකයන්ට උපදෙස් දී ඇත. ඉන් අනතුරුව බවුසරයයේ තිබූ ඉන්ධන, පිරවුම්හලට රැගෙන ගොස් පාරිභෝගිකයන්ට ලබා දීමට පිරවුම්හල් සේවකයෝ කටයුතු කළහ.
අනීෂා මානගේ


