වරකාපොල ගණිතපුර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය ඔසුහලක් වටලා එම අවස්ථාවේදී එහි සිටි මුදල් අයකැමි (02) දා රාත්‍රී අත් අඩංගුවට ගත් බවත් එහි හිමි කාරිනිය සොයා විමර්ශන කටයුතු සිදු කරන බවත් වරකාපොල පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔසුහලේ මුදල් අය කැමි ලෙස කටයුතු කළ වරකාපොළ ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි (23) හැවිදිරි තරුණයෙකි.
මෙම ඔසුහලෙන් වෛද්‍ය නිර්දේශයකින් තොරව බලපත්‍ර ලාභී ඖෂධ වේදියෙකුද නොමැතිව ඖෂධ නිකුත් කරන බවට විශේෂ කාර්යාංශ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කෑගල්ල ආහාර හා ඖෂධ පාලක වරයා එක්ව වරකාපොළ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබිණ.
කෑගල්ල ආහාර හා ඖෂධ පාලකවරයා පොලිස් නිලධාරීන් සමග වරකාපොළ ගණිතපුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ඔසුහල වෙත ගොස් පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ඉල්ලා ඇති අතර පසුව එහි මුදල් අයකැමි ලෙස කටයුතු කළ අය ඖෂධ නිකුත් කරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව කෑගල්ල ආහාර හා ඖෂධ පාලකවරයා විසින් ඔසුහලේ බලපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේදී එහි බලපත්‍ර කල් ඉකුත් වී තිබූ බවත් එහි ඖෂධ නිකුත් කිරීම සඳහා බලපත්‍ර ලාභී ඖෂධ වේදියෙකු හා ඔසුහලේ හිමිකාරිනිය එහි නොසිටීම හේතුවෙන් ඔසු හලේ මුදල් අය කැමී ලෙස කටයුතු කළ අය අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසන අතර මෙහි හිමිකාරිය ලෙස කටයුතු කරන කාන්තාව සිද්ධිය දැන ගැනීමෙන් අනතුරුව පොලිසිය මග හරිමින් සිටින බවත් මේ වනවිට ඇය සොයා විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඔසුහලේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා (03) දා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වරකාපොළ පොලිසියේ දූෂණ මර්දනය අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණවංශ ,පොලිස් සැරයන් (66013) කරුණාරත්න ,පොලිස් කොස්තාපල් (86007) දිසානායක යන අය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබති.