නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකුට (08) දින දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
මෙසේ බඹර ප්‍රහාරයකින් මිය ගොස් ඇත්තේ නෝර්වුඩ් ඕලිටන් වතුයායේ කිංග් කෝරා කොටසේ පදිංචිව සිටි සිවා කනගරත්නම් නැමති (36) හැවිරිදි පුද්ගලයෙකි.
තම නිවසට පානිය ජලය ලබා ගන්නා බට නලයක් තේ වත්තේ කැඩී ගොස් තිබූ බවත්, එය අලුත් වැඩියා කිරිමට ගිය අවස්ථාවේ ගසක් මැද බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී එම පුද්ගලයාට පහර දී ඇති බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.
තුවාලකරු දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේ මිය ගොස් ඇති බවත්, සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යාමු කර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන නෝර්වුඩ් පොලිසිය පැවසීය.