ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කොලොන්නාවේ චන්දන හා ධනුෂ්ක නමැත්තන්ගේ මුදල් පරිපාලකවරිය ලෙස කටයුතු කළ "බබා "නැමැත්තිය සහ මත්ද්‍රව්‍ය බෙදා හරින්නියක් වන " එන්ජල්" නමැත්තිය රාජගිරියේ දේවස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී මිලිගෑම් 1500 බැගින් අඩංගු ගංජා පැකට් 321 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් දෙසැම්බර් 12 වැනි දින කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කාය වර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන සිංහපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අංගොඩ ප්‍රදේශයේ දි කොටා නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ චන්දන නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
චන්දන සහ ධනුෂ්ක නමැත්තන් ඩුබායි රාජ්‍යයේ සිට විවිධ පුද්ගලයන් ලවා කොලොන්නාව ප්‍රදේශය කේන්ද්‍රස්ථානය කර ගනිමින් හොරයින් ,අයිස් සහ ගංජා ජාවාරම මෙහෙයවන බවත් වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය කායවර්ධන උපදේශකවරයා ඇතුළු පවුලේ අය ඔවුන්ගේ ගෝල බාලයන්ගෙන් මත්ද්‍රව්‍ය ලබා නොගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මත්ද්‍රව්‍ය
ලබා ගැනීම විරසකයට හේතු වී ඇති බවත් ඒ හේතුවෙන් වෙඩි ප්‍රහාරයට ලක්වීමට ගිය පුද්ගලයාගේ සහෝදරියට ද එරට සිට චන්දන නමැත්තා දුරකථන ඇමතුම් මගින් එම දිනවල මරණීය තර්ජනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණ.
චන්දන සහ ධනුෂ්ක නැමැත්තන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් පරිපාලකවරිය ලෙස කටයුතු කරන බබා නැමැත්තිය මාතලේ ප්‍රදේශයේ තරුණියක් බවත් ඇයගේ නමින් පෞද්ගලික බැංකු දෙකක සහ රාජ්‍ය බැංකුවක ගිණුම් අරඹා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් බැර කරන බවත් අනතුරුව ඇය විසින් එම මුදල් උණ්ඩියල් හරහා ඩුබායි රාජ්‍ය වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා වෙත යැවීමට කටයුතු කරන බවත් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් 38723 රංජිත් නිලධාරියාට රහසිගත ලෙස තොරතුරු ලැබී තිබූ බව පොලිසිය කියයි
ඒ අනුව එම සැකකාර තරුණිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමේදී ඇය රාජගිරිය දේවස්ථානයක් අසලට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන බවට ලද තොරතුරකට අනුව පොලිසිය අවට රැකවල්ලා සිට ් තවත් කාන්තාවකට මත්ද්‍රව්‍ය ලබාදීමත් සමඟම අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි
අනතුරුව සැකකාරියන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනාම කොළොන්නාව සිරිසඳ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින බවට අනාවරණය වීමෙන් අනතුරුව එම නිවාස සංකීර්ණය නිවාසද දැඩි පරික්ෂාවට කළද ඒ වන විටත් වෙනත් පුද්ගලයකු පැමිණ බැංකු ගිණුම් පොත් තුන සහ ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථනය රැගෙන ගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය
19 සහ 23 හැවිරිදි සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
