ධර්ම විකෘතින් සහ ශාසන විකෘතින් සිදු කරමින් ශාසන විලෝපනයන්හි නියුක්ත බදුලුගම්මන සුමනසාර හිමියන් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයෙන් නෙරපීමට සහ ඓතිහාසික බිබිල නාගල රජමහා විහාරාධිපතිත්වයෙන් ඉවත් කිරීම මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමතියට යටත්ව කාරක මහා සංඝ සභාවේ සම්මතයෙන් සිදුකොට තිබේ.
ඒ පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන්ය.
“ධර්ම විකෘතින් හා ශාසන විකෘතින් සිදුකරමින් උතුම් ථේරීය ශාසන සම්ප්රදාය පරිහානියට පත් කිරීමට බදුලුගම්මන සුමනසාර ස්ථීවරයන් කටයුතු කිරීම හේතුවෙන් ඒ ස්ථවිරයන් වෙත පත් කර තිබූ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් නෙරපීමට 2024.05.04 දිනැතිව රැස්වූ අප ගරුතර කාරක මහා සංඝ සභාව විසින් කටයුතු කරන ලදි.
තවද මේ සම්බන්ධව 2024.08.11 වැනි දින අප ගරුතර කාරක මහා සංඝ සභාව ඉදිරියට බදුලුගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ කැඳවා කරුණු විභාග කොට ආයතී සංවරයෙහි පිහිටා ධර්ම විනය පදනමත් ථේරීය ශාසන සම්ප්රදායක් මත පිහිටා කටයුතු කරන ලෙස අප ගරුතර නායක කාරක මහා සංඝ සභාව විසින් ඒ ස්ථවිරයන් වහන්සේ වෙත නියම කරන ලදි.
තවද එහිදී මල්වතු මහා විහාරයේ ගරුතර කාරක සංඝ සභාවේ නියමයන්ට අනුකූලව කටයුතු කරන බවටත් එකී නියම උල්ලංඝනය කරන බවට ගරුතර කාරක මහා සංඝ සභාවට හැඟී යන ආකාරයේ ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගරුතර කාරක මහා සංඝ සභාව විසින් ගනු ලබන ඕනෑම තීරණයක් සම්බන්ධයෙන් තමන් එකඟ වන බවත් බදුලුගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ 2024.08.11 දිනැතිව පොරොන්දු පත්‍රයක අත්සන් තබා අප වෙත ප්‍රතිඥා දී ඇත.
එහෙත් ගරුතර කාරක මහා සංඝ සභාවේ එකී නියමයන් උල්ලංඝනය කරමින් විවිධන අප්‍රති අප්රතිපත්තින්හි නිරත වෙමින් බදුලුගම්මන සුමනසාර ස්ථිරවිරයන් වහන්සේ "සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ මහ නිකාය" නමින් ශාසන සම්ප්‍රදායට හා ධර්ම විනය පදනමට විරුද්ධව ධර්ම විකෘතින් පෝෂණය කොට ප්‍රවර්ධනය කිරීමේ පටු අභිලාෂයෙන් නව නිකායක් පිහිටුවාගෙන විනය විරෝධී ලෙස උපසම්පදා විනය කර්ම සිදුකරමින් ශාසන විලෝපනයක නිරතව සිටි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු විභාග කිරීමට අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභි දාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2025.08.04 දිනැතිව රැස්වූ අප ගරුතර සහනායක කාරක මහා සංඝ සභාවේ විශේෂ සභා වාරයේදී බදුලුගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ භික්ෂු විනයට හා මහා විහාර ශාසනික සම්ප්‍රදායන්ට පටහැනිව ශාසන පරිහානියට හේතුවන පහත වැරදි සිදුකර ඇති බවට නිරීක්ෂණය කෙරිණ.
- බුද්ධ චරිතය හා බුද්ධ දේශනාවන් විකෘති කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂූ ප්‍රතිරූපකයාගේ සාවද්‍ය විකෘති දේශනා ප්‍රවර්ධනය කිරීම.
- මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස මහා විහාර ධර්ම සම්ප්‍රදායයන්ට හා ත්‍රිපිටක දේශනාවන්ට පටහැනිව බුදුරජාණන් වහන්සේ ලක්දිව ඉපදීම යන සාවද්‍ය මතවාදය ප්‍රවර්ධනය කිරීම.
- විනය පිටකයේ චුල්ලවග්ග පාළියෙහි සංඝ භේදඤ්ඤකයෙහි දැක්වෙන පරිදි "යම් මහණෙක් ධර්මය කියා අධර්මය දක්වයි ද දෘෂ්ටිය පිහිටවා රුචිය පිහිටුවා අදහස පිහිටුවා එය අනුන්ට කියා දෙන්නේ වේද මෙය ශාස්තෘ ශාසනය මෙයට කැමති වූ මෙය පිළිගනීවී යැයි කියාද ඒ සංඝභේදක තෙමේ අපායිකද නෙරයිකද වේ" යන ප්රඥප්තිය අනුව ධර්ම විකෘතිය සිදු කිරීම හා නව නිකායක් පිහිටුවා එහි විකෘතින් ප්‍රවර්ධනය කිරීම මගින් සංඝභේදයක් සිදු කිරීම.
- ධර්ම විනය පදනම හා ථේරිය මහා විහාර ශාසන සම්ප්රදාය උල්ලංඝනය කරමින් උපසම්පදා විනය කර්මය සිදුකිරීම ගෘහස්ථ ප්රව්රජ්ජිත උභය පාර්ශ්වයම නොමඟ යැවීම.
- මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ නියම උල්ලංඝනය කරමින් ධර්ම විකෘතියන් සමග එක්ව විකෘති මතවාදයන් ප්‍රවර්ධනය කරමින් මල්වතු මහා විහාර මූලස්ථානය අප කීර්තියට පත් කිරීම හා චේතාන්විතව ශාසන පරිහානියට කටයුතු කිරීම යන චෝදනා යටතේ බදුලුගම්මන සුමනසාර ස්ථවිරයන් වහන්සේ එසේ මල්වතු පාර්ශ්වයෙන් සහ උන්වහන්සේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට ගෙන තිබේ.