බදුල්ල ශික්ෂණ රෝහලට රු.බි. 11ක සංවර්ධන ව්‍යාපෘති
ඌව පලාතේ මිලියන 1.5 කට අධික ජනතාවට තෘතීයික මට්ටමේ විශේෂඥ සත්කාර සපයන බදුල්ල ශික්ෂණ රෝහලේ (Teaching Hospital Badulla) කළමනාකරණ කමිටු රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (12) රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙම අදහස් දක්වන ලදි.
රෝහලේ ක්‍රියාත්මක රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම, පවතින මානව සම්පත් හා භෞතික සමිපත් සංවර්ධනය සහ පවතින ගැටලු කඩිනමින් විසඳීම මෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධව විශේෂ අවධානය යොමු කරමින් මෙම කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්විණි.
මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සියළු රෝහල්වල සංවර්ධන කටයුතු සැලසුම් සහගතව හා කඩිනමින් ක්‍රියාත්මක කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම හා අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක මට්ටමින් රෝහල් කළමනාකරණ කමිටු රැස්වීමි පැවැත්වෙන බවයි.
ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන රෝහල් කළමණාකරණ කමිටු රැස්වීමි මාලාවේ 11 වන රෝහල් කළමණාකරණ කමිටු රැස්වීම අද (13) බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවැත්වෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 11,000 ක පමණ විශාල මුදලක් වෙන් කරමින් දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද පැවසීය.
දිවයින පුරා රෝහල් සංවර්ධනය වුව ද මානව හා භෞතික සම්පත් සංවර්ධනයේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් පසුගිය සමයේ දී අනූගමනය නොකිරීම තුළ අසංතුලිතතා, ගැටලු දක්නට ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
රෝහලේ වත්මන් අවශ්‍යතා සහ සංවර්ධන සැලසුම් පිළිබඳ බදුල්ල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරිය කරුණු ඉදිරිපත් කරමින් සේවක මණ්ඩල ගැටලු (Cadre and staffing issues), මහාචාර්ය ඒකකයේ (Professorial unit) සහ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක (A & E) ගොඩනැගිලි ඉදිකිරීම්, පිළිකා ඒකකයේ LINAC යන්ත්‍රය (Cancer Unit LINAC), කැත් ලැබ් (Cath Lab) පහසුකම්, වෛද්‍ය උපකරණ (Medical equipment), රසායනාගාර උපකරණ (Laboratory Equipment), ඉඩම් අත්පත් කර ගැනීම් (Land acquisition) යන ප්‍රධාන අවශ්‍යතා පිළිබඳව කරුණු දක්වන ලදි.
ඒ අනුව, මානව සම්පත් හිඟය කඩිනමින් පියවීම ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරන බවත්, ඒ අනුව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනූමත ප්රමාණයන්ට වැඩි පිරිසක් බඳවා ගනිමින් පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද නිලධාරීන් පෙන්වා දෙන ලදි. එමෙන්ම නව ඒකක සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල අනුමත කර ගැනීමේ අවශ්‍යතාව ද සාකච්ජා විය.
රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීම සඳහා Triple Energy LINAC යන්ත්‍රය රෝහලේ ස්ථාපනය කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා වන කටයුතු කඩිනම් කරන බව ද අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය.
මීට අමතරව, කල් ඉකුත්ව ඇති Cobalt-60 විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය වෙනුවට Single Energy LINAC යන්ත්‍රයක් ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධාණය යොමු විය.
රෝහලේ Cardiac Catheterization Laboratory (Cath Lab) ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ අවශ්‍ය උපකරණ සූදානම්ව පවතින අතර, රේගු නිෂ්කාශනය, උපකරණ ස්ථාපනය, විදුලි බල සැපයුම සහ අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීම පිළිබඳව කඩිනම් පියවර ගැනීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මීට අමතරව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය නිල නිවාස අවශ්‍යතාවය පිළිබඳ ව ද සාකච්ජා කළ අතර, ඒ සඳහා මේ වනවිටත් සැලසුම් සහගත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව ද නිලධාරීන් පෙන්වා දෙන ලදි.
ඌව පලාතේ ජනතාවට ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් සපයන ප්‍රධානතම තෘතීයික මට්ටමේ සෞඛ්‍ය සේවා ආයතනය ලෙස බදුල්ල ශික්ෂණ රෝහල අක්කර 09 ක විශාල භූමි ප්‍රදේශයක පිහිටා ඇත. ඇඳන් 1562 ක්, වාට්ටු 43 ක්, විශේෂිත ඒකක (Units) 65 ක් සහ ශල්‍යාගාර (Operation Theatre Suits) සංකීර්ණ 04 ක් තුළ ශල්‍යාගාර 12 කින් ද රෝහල සමන්විත වේ. වසරකට සායන සඳහා 592,000 ක් පමණ ජනතාවක් සහභාගී වන අතර, වසරකට බාහිර රෝගී අංශයෙන් 371,000 ක පිරිසක් ප්‍රතිකාර සේවා ලබාගනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

