දීර්ඝකාලීන බදු පදනම මත පවරා දී ඇති කිසිදු සංවර්ධනක් නොකළ ඉඩම් යළි රජයට පවරා ගන්නා බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
මීමුරේ ජනතාවගේ ඉල්ලීමක් වූ පදිංචි ඉඩම් නිරවුල් කොට ඔප්පු සහ හිමිකම් බලපත්‍ර ලබාදීම නිමිත්තෙන් මීමුරේ කුඹුක්ගොල්ල ප්‍රාථමික විදුහල් ශාලාවේදී පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
හැත්තෑව දශකයේදී පමණ ජනසතු කරන ලද මහා පරිමාණ ඉඩම් වර්ෂ 1992දී විවිධ සමාගම් වෙත බදු ක්‍රමයට ලබාදී ඇති නමුත් එම ඉඩම් ඵලදායි කාර්යයකට යොදවා නොමැති බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කීවේය.
ඒ අනුව පුද්ගලික සමාගම් සහ ව්‍යාපාරිකයන් සතු එම ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිරිපත් කරන බව ඒ මහතා කීවේය.
අධිරාජ්‍යවාදී පාලන සමයේදී පුද්ගලික ව්‍යාපාරිකයන් සතුවුණු ඉඩම් ජනසතු කරන ලද්දේ රජයේ ව්‍යාපාර ආරම්භ කොට ජනතාවට ආදායම් ලබාදීමට නමුත් එම ඉඩම් යළි පුද්ගලික සමාගම් වෙත බදුදීම නිසා අපේක්ෂිත අරමුණ ඉටු නොවුණු බව අමාත්‍යවරයා කීවේය.
එබැවින් සැබෑ වශයෙන්ම ඵලදායි ලෙස භාවිත කළ හැකි පාර්ශව සඳහා මෙම ඉඩම් බදු ක්‍රමයට ලබාදීමට සැලසුම් කොට ඇතැයි ඒ මහතා කීවේය.
ඉඩම් ඔප්පු නොමැති පදිංචිකරුවන්ට මේ ලබා දෙන ඔප්පු සහ බලපත්‍ර ඉඩම් හිමිකරුගෙන් පසුව දරුවන්ට සහ කැමති ඥාතියෙකුට හිමිවන පරිදි ඉඩම් ආඥා පනත ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී සංශෝධනය කරන බව ද අමාත්‍ය එස්.එස්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.