වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කොට සාධාරණ මට්ටමකට රැගෙන ආයුතු බවට තමන් විශ්වාස කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
හිටපු කතානායකවරයා අද (07) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා විහාරයන්ට ගොස් එහි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව පැවසීය . එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
"බදු මුදල් ඉහළ යාම හේතුවෙන් වෘත්තිකයන්ට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. එවැනි දේවලට විසඳුමක් ලබා දිය යුතුයි. ක්‍රමක්‍රමයෙන් එය සිදු කළ යුතුව තිබෙනවා. රටේ උගතුන් බුද්ධිමතුන් රට හැර යාම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ අය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබා ගත්අය. නමුත් අපට ඒ අයට දෝෂාරෝපණය කළ නොහැකියි. ඒ අය තමන්ගෙ දරුවො ගැන බැලිය යුතුව තිබෙනවා. නමුත් රට හදා ගත හොත් ඒ අයට එසේ විදේශගත වීමට අවශ්‍ය වන්නේ නැහැ. අප සියලු දෙනා කැපවීමෙන් එය සිදු කළ යුතුව තිබෙනවා.
නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීම සාධාරණයි. නමුත් මේ අවස්ථාව අභියෝගාත්මක අවස්ථාවක්. එක් පාර්ශවයක් පවසනවා ඡන්දය පැවැත්වීමට මුදල් නැහැ කියලා. තවත් පාර්ශවයක් තියනව ඡන්දයේදී පැවැත්විය යුතුමයි කියලා. මේ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා මේවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට තීරණය කළ යුතු දේවල්. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවක් වෙනස් වන්නේ නැහැ.
නමුත් දැන් බහුතර මතය වී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධවයි. මේවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට තීරණය කළ යුතු දේවල්. දැන් මේ ප්රශ්නය අධිකරණය හමුවට ගොස් තිබෙන බැවින් එහිදී තීන්දුවක් ලබා දෙයි.
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අපගේ ව්‍යවස්ථාවේ කොටසක්. මේ සම්බන්ධව මහා සංඝරත්නයේ බියක් ඇතිවී තිබෙනවා රට දෙකඩ වී යයි කියලා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන් එකතු වී සාකච්ඡා කළ යුතුව තිබෙනවා. එම තීරණ ගතයුතු සුදුසුම තැන පාර්ලිමේන්තුවයි. මේ රටට ජාතික, ආගමික, දේශපාලනික, සමගිය අවශ්‍යයි. විශේෂයෙන් මේ ප්‍රශ්නයෙන් ගොඩඒමට දේශපාලනික සමගිය මාස කීපයකට හෝ අවශ්‍ය කරනවා”