ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.5 ක ණය පහසුකම් ඉල්ලා ඇති බව බංග්ලාදේශයේ ස්ටාර් පුවත්පත වාර්තා කරයි. පාකිස්තානය සහ ශ්‍රී ලංකාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය පහසුකම් ඉල්ලා ඇති දකුණු ආසියාවේ තෙවැනි රට බවට මේ වන විට බංග්ලාදේශය පත්ව තිබේ.
ඇඟලුම් අපනයන කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලන බංග්ලාදේශය එහි ගෙවුම් ශේෂය සහ අයවැය අවශ්‍යතා සඳහා මෙන්ම දේශගුණික විපර්යාස සමඟ කටයුතු කිරීමට දරන ප්රයත්නයන් සඳහා අවශ්‍ය අරමුදල් සොයා ගැනීමට මේ හරහා බලාපොරොත්තු වෙයි.
ඩොලර් බිලියන 416 ආර්ථිකයක් ඇති බංග්ලාදේශය වසර ගණනාවක් තිස්සේ ලෝකයේ වේගයෙන්ම වර්ධනයවන රටක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් රුසියා-යුක්රේන යුද්ධය හේතුවෙන් බලශක්ති සහ ආහාර මිල ඉහළ යාම එහි ආනයන බිල සහ ජංගම ගිණුමේ හිඟය මත බලපෑම් එල්ල කර ඇත.
මුදල් අමාත්‍ය ඒඑච්එම් මුස්තාෆා කමල් ඉරිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වෙත ලිපියක් යැවූ බව ඩේලි ස්ටාර් පුවත්පත පවසයි.
බංග්දේශ මහ බැංකුවේ දත්ත වලට අනුව, එහි වෙළඳ හිඟය පුළුල් වී ප්‍රේෂණ පහත වැටුණු හෙයින්, බංග්ලාදේශයේ ජූලි සිට මැයි දක්වා ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 17.2 ක් වූ අතර, එම අගය පසුගිය වසරේ එම කාලසීමාවේදීම සලකා බලන විට ඩොලර් බිලියන 2.78 ක් විය.
ජුනි 30 වැනිදායින් අවසන් වූ මුල්‍ය වර්ෂයේ පළමු මාස 11 තුළ ආනයන 39%කින් ඉහළ ගිය නමුත් අපනයන වර්ධනය 34%කි.
බංග්ලාදේශයේ විදේශ විනිමය සංචිත ජූලි 20 වන විට ඩොලර් බිලියන 39.67 දක්වා පහත වැටී ඇත. එය මාස 5.3 ක් පමණ ආනයන සඳහා ප්‍රමාණවත් වෙයි. මීට වසරකට පෙර පෙර බංග්ලාදේශයේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 45.5 ක් විය.
COVID-19 වසංගතය හේතුවෙන් බංග්ලාදේශ විදෙස් ශ්‍රමිකයන්ට රැකියා අහිමි වූ විදේශ ප්‍රේෂණ ජුනි මාසයේදී 5% කින් පහත වැටී ඩොලර් බිලියන 1.84ක් විය.