පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් අංශයේ වැඩකරන සේවක සේවිකාවන්ගේ වෘත්තීය සුබ සාධනය ඇති කිරීම අරමුණු කරගෙන සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් වන බැවික් ඒ සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබාදෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.
අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරනු ලැබුවේ ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග අද (20දා) පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.
අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසට පෙන්වා දුන්නේ රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් මෙරට තුළ ඇතත් එම රැකියා කිරීමට ඔවුන් උනන්දුවක් නොදක්වන්නේ ඔවුන්ගෙන් බහුතරයක් රජයේ රැකියාවක්ම අපේක්ෂා කරන නිසා බවයි.
ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය අංශයේ රැකියාවල ශක්තිමත් විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් පවතින නමුත් සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හැරුණු කොට පෞද්ගලික අංශය සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් නොමැති බවයි.
කෝවිඩ්-19 වසංගතය වැනි ව්‍යසන අවස්ථාවලදී රැකියා අහිමි වන පිරිසට රැකවරණය සැලසීමට ක්‍රමවේදයක් හෝ ඉඩ ප්‍රස්ථාවක් සේවක අර්ථසාධක අරමුදල හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යටතේ නොමැති වීම අඩුපාඩුවක් වන බැවින් එම ගැටලුව විසඳීම සඳහා කම්කරු අමාත්‍යාංශය මේ වන විට අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා එම නියෝජිත පිරිසට අවධාරණය කළේය.
ඒ අනුවපෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් අංශයේ වැඩකරන සියලු දෙනාගේ රැකියා සුරක්ෂිතතාව ඇති කෙරෙන පරිදි ශක්තිමත් විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීම රජයේ අපේක්ෂාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඒ සඳහා දැනටමත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමගද සාකච්ඡා කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ලෝක බැංකුවේ සහායද ලබා දෙන ලෙස එම නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් එම නියෝජිත පිරිස පවසා සිටියේ දැනටමත් බොහෝ දියුණු රටවල් එම රටවලට සුදුසු සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රම ශක්තිමත්ව ක්‍රියාවට නංවා ඇති බව සහ ශ්‍රී ලංකාවට ආසන්නතම රටක් වන මාලදිවයින සඳහාද මේ වන විට වැඩසටහනක් හඳුන්වා දී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමක් කර සුදුසු ක්‍රමයක් සකස් කිරීම සඳහා තාක්ෂණික හා ශිල්පීය ආධාර ලබාදෙන ලෙසත් විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කෙරෙන ප්රාරම්භක අරමුදල් ලෙස මූල්‍ය ආධාරයක් ලබා දෙන ලෙසත් කම්කරු අමාත්‍යවරයා එම ලෝක බැංකු නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටියේය.
එහිදී එම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දක්වමින් එම නියෝජිත පිරිස අමාත්‍යවරයාට පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා විධිමත් ඉල්ලීමක් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලෙසයි.
