පොහොර මුදල් වංචාවක් ගැන චෝදනාවක්
හොරොව්පොතාන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 147 - රත්මලේ ග්රාම නිලධාරි වසමේ ගොවීන් සඳහා රජය මගින් ලබා දෙන පොහොර බෙදාහැරීමේදී අනුමත මිලට වඩා වැඩි මුදලක් අය කරමින් වංචාවක් සිදුවන බවට එම ප්රදේශයේ ගොවීහු චෝදනා කරති.
2026 යල කන්නය සඳහා මාර්තු මාසයේ සිට අවස්ථා කිහිපයකදී ගොවිජන සේවා කාර්යාලය හරහා මෙම පොහොර බෙදා හැරීම සිදුකර ඇත. රජය විසින් පොහොර මිටියක අනුමත සිල්ලර මිල රුපියල් 10,200ක් ලෙස නියම කර තිබියදී, රත්මලේ ප්රදේශයේ ගොවීන්ට එම පොහොර මිටියක් රුපියල් 10,500ක මිලකට අලෙවි කර ඇත.
පසුගිය මාසයේ පැවති ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද මෙම කරුණ අනාවරණය වී තිබුණද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදුවී නොමැති බව ගොවීහු පවසති.
පොහොර රැගෙන පැමිණි ලොරි රථය හොරොව්පොතාන ගොවිජන සේවා කාර්යාලයේ සිට කිලෝමීටර් 9ක් පමණ අමතරව ගමන් කිරීම නිසා ප්රවාහන ගාස්තු වැඩි වූ බව පවසමින් වසමේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිවරයා විසින් මෙම වැඩිපුර මුදල අය කරගෙන ඇත. මෙලෙස පොහොර මිටි හයසීයකට අධික ප්රමාණයක් බෙදාහැරීමේදී ගොවීන්ගෙන් රුපියල් එක්ලක්ෂ අසූදහසකට ආසන්න මුදලක් එකතු කරගෙන ඇති අතර, ඉන් රුපියල් තිස්දහසක් පමණ ප්රවාහන වියදම් ලෙස අඩු කර ගත්තද, ඉතිරි රුපියල් 150,000ක පමණ මුදලට සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු නොදන්නා බව ගොවීන් පවසති.
මේ පිළිබඳව අදහස් දක්වන ගොවීන් පවසන්නේ වසර ගණනාවක් පුරා මෙම අසාධාරණය සිදුවන බවයි. එහෙත්, මෙම ක්රියාවන්ට එරෙහිව හඬ නැගුවහොත් තමන්ට හිමි විය යුතු ඉදිරි පොහොර සහනාධාර අහිමි වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔවුන් මෙතෙක් නිහඬව සිට ඇත. වත්මන් ආණ්ඩුව යටතේ මෙවැනි අයථා කටයුතු තවදුරටත් නිලධාරීන් විසින් නිර්භයව සිදු කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව දැඩි කණස්සල්ලට පත්ව සිටිති.
එපමණක් නොව, පසුගිය ආපදා තත්ත්වයන් මත වගා හානි වූ ගොවීන් පිරිසකට රජයෙන් ලබාදුන් වන්දි මුදල් ද, පසුව "වගා හානි සිදුවී නොමැති" බව දන්වමින් හොරොව්පොතාන පොලිසියේ ද මැදිහත්වීම ලබා ගනිමින් නැවත අය කර ගැනීම නිසා තමන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව ද රත්මලේ ගොවීහු වැඩිදුරටත් කියා සිටිති.
ගලෙන්බිඳුණුවැව - චින්තක ක්රීෂාන්ත බාලසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

